නව වෙන්දේසි සිද්ධාන්තයක් හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥයන්ට 2020 නොබෙල් ත්‍යාගය

මේ වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකු වන පෝල් මිල්ග්‍රොම් සහ රොබර්ට් විල්සන් වෙත පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කරයි.

නව වෙන්දේසි සිද්ධාන්තයක් හඳුන්වාදීම වෙනුවෙන් ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔවුන්ට මෙලෙස ඇගයීමට ලක්ව තිබෙන බව විද්‍යාව පිළිබඳව රාජකීය ස්වීඩන ඇකඩමිය සඳහන් කරයි.

එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන ඔවුන් දෙදෙනාම වෙන්දේසියක් සිදු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් වන සෛද්ධාන්ත හඳුන්වාදීමක් සිදු කර තිබේ. එසේම සාම්ප්‍රදායික ක්‍රමයට අලෙවි කිරීමට අපහසු භාණ්ඩ හා සේවා වෙන්දේසි කිරීම සඳහා ඔවුන් නව වෙන්දේසි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සමත් විය. උදාහරණ ලෙස රේඩියෝ සංඛ්‍යාත වෙන්දේසිය ඇතුළු තවත් අංග පවතනි බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ත්‍යාග කමිටුවේ සභාපති පීටර් ෆ්‍රෙඩ්රික්සන්, “මේ වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳව වන ත්‍යාගය හිමි කරගත් සම්මානලාභීන් ඉදිරිපත් කළ මූලධර්මීය සිද්ධාන්තය පසුව ප්‍රායෝගිකව යොදා ගැනීමක් සිදු කළා. එසේම එය ලොව පුරා ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාප්ත වුණා. ඔවුන්ගේ ඒ සොයා ගැනීම සමාජය වෙත  ඉතා හොඳ ප්‍රතිලාභ ලබා දුන්නා.” යනුවෙන් සඳහන් කරයි.

ආර්ථික විද්‍යාව සඳහා ලබා දෙන මෙම නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාව පිළිබඳ Sveriges Riksbank Prize ලෙසින්ද හැඳින්වෙයි. ස්වීඩනයේ මහ බැංකුව මගින් ආරම්භ කරන ලද මෙම සම්මානය ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහිවීම පිණිස 1969 වසරේ සිට පිදුම් දෙයි.

Visits: 99