ජෝන් කීල්ස් සමාගමෙන් ගොල්ෆ් රිසෝට් දෙකක් ඉදිකිරීමට සැලසුම්

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත්  ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සිය ව්‍යාපාර තවත් පුළුල් කරමින් මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සිය වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රිසෝට් ආශ්‍රිතව නවතම සුඛෝපභෝගී රිසෝට් ව්‍යාපෘති දෙකක් ඇතුළු ඉදිකිරීම සදහා සැලසුම් කරමින් සිටින බව අනාවරණය කරයි.

අක්කර 517ක් පුරා ව්‍යාප්තව ඇති මෙම භූමිය තුළ සුඛෝපභෝගී නවාතැන්පොළක් (රිසෝට්) සහ අක්කර 120ක් පුරා පැතිරුණු වල 18ක් සහිත ගොල්ෆ් පිටියක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම ඉදිකිරීම් දැනටමත් ‘සන්රයිස් රිජ්’ සහ ‘පීකොක් වැලි’ ලෙස නම් කෙරී ඇත. මේවා ඉදිකිරීමත් සමගින්ම මෙරට පවතින වඩාත් සුවිශේෂී ඉඩම් සහ දේපළ බවට පත්වෙනු ඇතැයිද ජෝන් කීල්ස් සමාගම පවසයි.

මෙහිදී මෙම ඉදිකිරිම් දෙකම ප්‍රධාන ගොල්ෆ් පිටියේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක පිහිටුවෙන බව සඳහන් වෙයි. ඒ අනුව පීකොක් වැලි ගොල්ෆ් පිටිය මධ්‍යයේද, සන්රයිස් රිජ් එයට සමීපයේද ඉදි කෙරේ.  

මෙහිදී අදාළ ඉදිකිරිම් කටයුතු සිදු කිරීම සහ පවත්වාගෙන යාම ක්ෂේත්‍රයේ මුල් පෙළේ සිටින ගොල්ෆ් කළමනාකරණ සමාගමක් වන Troon සමාගම වෙත 2019 වසරේදී ලබා දීමට එකඟතාව පළ වී ඇත. එම සමාගම මේ වනවිට ලොව පුරා ස්ථාන 450ක මෙහෙයුම් සිදු කරයි. ලන්ඩන් නුවර The Grove සහ අබුඩාබිහි ගොල්ෆ් සමාජයත් ඒ අතර පවතී.

ඒ අතරින් පීකොක් වැලි සඳහා වෙන් කර ඇති භූමිය ගොල්ෆ් පිටිය වටා පිහිටන ආකාරයෙන් යුක්ත වෙයි. එහිදී පර්චස් 47ක සහ 139ක භූමියක් වෙන් කෙරී ඇත. ගැනුම්කරුවන්ට ඒවායේ තමන්ගේ නිවාස ඉදිකිරිමේ අවස්ථාව ලබා දී තිබේ.

එසේම සන්රයිස්  රිජ් ඉදිකිරීම යටතේ වර්ග අඩි 2000 ක පමණ විශාලත්වයෙන් යුත් නිවාස ඉදි කෙරේ. ඒවා තුළ නිදන කාමර දෙකක් අංග සම්පූර්ණ මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් ඇතුළු අංග පවතී. මෙහිදී නිවාස 16ක් ඉදි කෙරෙන අතර, ඒ සෑම නිවාසයකටම පර්චස් 10ක භූමියක් හිමි වෙයි. වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රිසෝට් සමාගම එම නිවාසවල  හිමිකරුවන් වෙනුවෙන් ඒවා කළමනාකරණය සිදු කරන බවත් පවසයි.

Visits: 410