සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනමෙන් මුහුණු ආවරණ මිලියනයක පරිත්‍යාගයක්

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා ලිවින්ගාර්ඩ් මුහුණු ආවරණ මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීම පසුගියදා සිදු වුණු බව විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු බව මෙම අවස්ථාව සඳහා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සහභාගි වී තිබේ.

එසේම සිංගප්පූරු රජය නියෝජනය කරමින් සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා, මෙම වටිනා පරිත්‍යාගය තුළින් කාලෝචිත ලෙස පිළිබිඹු කෙරෙන හොඳහිත පිළිබඳව ටෙමාසෙක් පදනම සහ සිංගප්පූරු රජය වෙත සිය අවංක ප්‍රසාදය පළ කර තිබේ.

එසේම සිංගප්පූරු රජය වෙනුවෙන් අදහස් දක්වා ඇති ආචාර්ය ධර්මදාස මහතා, ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ ආරම්භක පියවරක් ලෙස මෙරට පිහිටි මාස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ටෙමාසෙක් පදනම එක්ව මෙම පරිත්‍යාගය ලබා දුන් බවත්, ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ටෙමාසෙක් පදනම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, සංස්කෘතිය, ප්‍රජා ගොඩනැඟීමේ කටයුතු යනාදිය සඳහා සහාය වන සිංගප්පූරු රාජ්‍ය ස්වෛරී අරමුදලෙහි පරාර්ථකාමී හස්තය යටතේ පවතින, සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයකි.

මෙහිදී අදහස් දැක්වීමක් සිදු කර ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, මෙම සහයෝගීතාවය පිළිබඳ සංකේතය කොවිඩ්-19 ට එරෙහි සටනේ දී දෙරට අතර පවතින හෘදයංගම මිත්‍රත්වය පිළිබඳ විචිත්‍ර නිරූපණයක් බව  පවසා තිබේ.

එසේම මෙම කාලෝචිත හොඳහිත පළකිරීම නිසා දෙරට අතර ජනතාව අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, වසර 50 ක් පුරා පැවති අපගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

ලිවින්ගාර්ඩ් තාක්‍ෂණය භාවිතා කරන ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදක සමාගම් අතරින් එකක් වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මෙම මුහුණු ආවරණ නිෂ්පාදනය කර තිබේ. මෙම ලිවිංගාර්ඩ් තාක්‍ෂණයට ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රෙදිපිළි ඇතුළත් වන අතර, ඊට ශ්වසන වායුවෙහි පවතින විවිධ විෂබීජ කාර්යක්ෂම ලෙස විනාශ කිරීමට හැකියාව ඇතැයිද පවසයි. එසේම මෙම නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රලාභී ලිවින්ගාර්ඩ් ප්‍රතිවෛරස තාක්‍ෂණය භාවිත කර ඇති අතර, එය විෂ රහිත හා නැවත භාවිතා කළ හැකි බවට සහතික කර ඇතැයිද සඳහන් වෙයි.

Visits: 34