ලක්ෂම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපතිනිය දෙරටේ කොටස් හුවමාරු අතර සහයෝගිතාව විමසයි

ලක්ෂම්බර්ග් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් අසිර්වාතම් මහත්මිය පසුගියදා ලක්ෂම්බර්ග් හි කොටස් හුවමාරුව (LuxSE) වෙත ගොස් එහි මහලේකම්වරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙහිදී තානාපතිවරිය මහ ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් හුවමාරුව සහ ලක්ෂම්බර්ග්හි කොටස් හුවමාරුව අතර සහයෝගිතාවක් ඇති කරගැනීම සම්බන්ධයෙන් වන හැකියාව පිළිබඳව විමසීමක් සිදු කර තිබේ.

විශේෂයෙන්ම ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ පවතින හරිත බැදුම්කර ආයෝජන (Green Bond Investment) සම්බන්ධව පවතින  හැකියාව පිළිබඳව ඇය විමසීමක් සිදු කර ඇත. ඒ හරහා ශ්‍රී ලංකාවට විවිධ හරිත ව්‍යාපෘති සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් ඊට උදාහරණ ලෙස ප්‍රවාහන, කාර්මික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා වන පරිසර-කාර්මික කලාප, හරිත සහ සුහුරු නගර මෙන්ම සුළං සහ සූර්ය බලශක්තිය සහිත පුනර්ජනනීය බලශක්ති සම්බන්ධව ඇය කරුණු දක්වා ඇත.

මෙම හරිත බැදුම්කර ආයෝජන සඳහා ලක්ෂම්බර්ග් හරිත හුවමාරුව (Luxemburg Green Exchange) සහ යුරෝපියානු ආයෝජන බැංකුව (European Investment Bank (EIB) සහයෝගිතාව දක්වයි.

මෙහිදී අදහස් දක්වා ඇති ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ මහලේකම්වරයා වැඩිවශයෙන් හරිත ව්‍යාපෘති සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව සම්බන්ධයෙන් සිය සතුට පළ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ඉදිරි හරිත ඉලක්ක වෙත සිය මූල්‍යමය සහයෝගිතාව ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියටත් සම්බන්ධව කටයුතු කරන බව පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ ජාත්‍යන්තර ප්‍රාථමික වෙළෙඳ පොළෙහි සබඳතා කළමනාකාර ප්‍රධානී කාර්ලෝ ඔලි සහ ලක්ෂම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ (වාණිජ) කටයුතු පිළිබඳ ප්‍රධානී ශිරානි ආරියරත්න යන මහත්මමහත්මීන්ද සහභාගි වී තිබේ.

Visits: 272