සිංගර් (ශ්‍රී ලංකා) හොඳම සිල්ලර වෙළෙඳ නාමයට හිමි සම්මානය දිනයි

බ්‍රිතාන්‍ය පාදක කරගත් ගෝලීය බැංකු සහ මූල්‍ය සම්මාන (Global Banking and Finance review) උළෙලේදී  වසරේ හොඳම ශ්‍රී ලාංකික සිල්ලර වෙළෙඳ නාමයට හිමි සම්මානය දිනා ගැනීමට සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සමත් වූ බව පවසයි. ශ්‍රී ලාංකික සමාගමක් මෙම සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

වාර්ෂිකව සිදු කරන මෙම ගෝලීය බැංකු සහ මූල්‍ය විවරණ සම්මාන ප්‍රදානය සඳහා සමාගම් තෝරා ගැනීම ෆෝර්චූන් 500 සමාගම්හි ජ්‍යෙෂ්ටම තීරණ සම්පාදකයන්, ආයෝජකයන්, අලෙවිකරුවන් සහ බැංකුකරුවන් විසින් සිදු කරන නිර්දේශ කිරීම් අනුව සිදු කෙරේ.

2011 වසරේදී ආරම්භ කෙරුණු මෙම Global Banking and Finance Awards 2020 සම්මාන ප්‍රදානය මේ වසරේ දී සිය 10 වැනි සංවත්තරය සමරයි. මෙම වටිනා සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා ලොව පුරා සමාගම් රැසක්ම ප්‍රබල තරගයක් ලබා දෙන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි ප්‍රධාන  විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා, “Global Banking and Finance Awards 2020 තුළදී සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත අප ලබා දෙන සේවාව සම්බන්ධයෙන් පිළිගැනීමකට ලක් කර තිබීම අපට  ගෞරවයක් මෙන්ම ආඩම්බරයට කාරණයක්. මෙය අපේ ව්‍යාපාර වෙත අභියෝගාත්මක කාලයක්. එහෙත් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමට ඉතාමත් කෙටි කාලයකදී සිය ව්‍යාපාර ආපසු ප්‍රකෘතිමත් කරගැනීමට අවස්ථාව හිමි වුණා.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 189