වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා කොරෝනා බාධාවක් නොවන හැඩ

අද (ඔක්තෝබර් 09) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදුවුණු ගනුදෙනුවලදී තනි පුද්ගල ආයෝජකයන් තවදුරටත් ඉහළ ගැනුම්බරතාවක් දක්වමින් වෙළෙඳපොළ තුළ ඉතා හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කිරිමට දායකත්වය ලබා දුන් බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින කනස්සල්ල මධ්‍යයේ වුවද ඒ පිළිබඳ තැකීමකින් තොරව මෙම මිලදී ගැනීම් සිදුවීම සුවිශේෂී බවත් එම සමාගම් සඳහන් කරයි.

එහිදී වටිනා කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන උනන්දුව යම් තරමකින් පහත වැටුණත්, අඩු මිල කොටස් සම්බන්ධයෙන් වන මිලදී ගැනීමේ උනන්දුව පළමු අර්ධයට වඩා දෙවැනි අර්ධයේදී ඉහළව පැවතුණු බවත් පැවසෙයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,754.40 ත් ඒකක 5,832.37 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,798.72 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 08) දිනයට සාපේක්ෂව එය ඒකක 74.18 ක් එනම් 1.30%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වුණු ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී (ඡන්ද හිමි කොටස්) සිදුකළ ගනුදෙනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 1%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 139ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 55ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.84), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+5.23), නෙස්ලේ ලංකා පීඑල්සී පීඑල්සී NEST (+4.63),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.75), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.64),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.69), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.3),  රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-1.87), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (-1.27)  සහ සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී SINS (-1.04) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,348.50 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 08) දිනයට සාපේක්ෂව ඒකක 31.35 ක එනම් 1.35%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.05ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 08දා) වාර්තා කළ රුපියල් බිලියන 2.9 ට සාපේක්ෂව 5%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.52ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.48%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 161.3ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 253.2ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 92කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 42.63ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.26කි. එසේම ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී (ඡන්ද හිමි කොටස්) විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 38.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 840ක් සඳහා ප්‍රවාහන අංශයේ සමාගම් දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 587ක සහ රුපියල් මිලියන 433ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 402