ඔස්ට්‍රියාවේ පැවැත්වුණු ‘ෆ්ලේවර්ස් ඔෆ් ශ්‍රී ලංකා’ ඉවුම් පිහුම් ප්‍රදර්ශනය

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයද සහිතව පසුගිය අගෝස්තු 30 වැනිදා ඔස්ට්‍රියාවේදී ‘ෆ්ලේවර්ස් ඔෆ් ශ්‍රී ලංකා’ නමින් ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් ඇතුළත් ප්‍රදර්ශනයක් සංවිධානය කළ බව පවසයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ උද්ගතව පවතින සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ. වියෙනා අගනුවර වෙල්ට් කෞතුකාගාරයේ හෙල්ඩෙන් ආපනශාලාව ආසන්නයේදී මෙම ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර ප්‍රදර්ශනය සහ අලෙවිය සිදු කර ඇත.

වියෙනා අගනුවර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික ආපනශාලා මගින් මෙම ඉවුම් පිහිමු අවස්ථාවට දායකත්වය ලබා දී තිබේ. කොත්තු, ආප්ප, බත් සහ ව්‍යාංජන ඇතුළු ආහාර රැසක් මෙහිදී ඉදිරිපත් කර ඇත. පැමිණි පිරිසට ශ්‍රී ලාංකික තේ පානයක රස විදීමට හැකියාව ලැබුණු බව පැවසෙයි.

මේ හරහා ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරකත්වය සහ රසවත් ආහාරවල අත්දැකීම ඔස්ට්‍රියානු ජනතාවට ලබා දීමට හැකියාව ලැබුණු බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටියි. මෙහිදී වර්තමානයේ පවතින තත්ත්වය අනුව සලකා බලා උපරිම සනීපාරක්ෂාව සහ ආරක්ෂාව සලසමින් මෙය සංවිධානය කිරිමටත් කටයුතු යොදා ඇත.

Visits: 50