චීනය ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න – ජනපති චීන දූත පිරිසෙන් ඉල්ලයි

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න.” – ජනපති ගෝඨාභය රාජපක්ෂ

චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බවත්, එය අඩු කිරීම සඳහා චීනය විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගණ්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මෙරටට පැමිණි චීන දූත පිරිසගෙන් ඉල්ලීමක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ යං ජියෙෂි (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිසක් මෙලෙස ඊයේ පෙරවරුවේ ජනපතිවරයා හමුවී තිබේ.

මෙහිදී අදහස් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, “ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී  ලංකාවේ සංචාරය සදහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දීසියට සහභාගිවීමට චීනයට හැකි නම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්” යනුවෙන්ද පවසා තිබේ.

එසේම උසස් පෙළ සමත් වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කර ඇති   ජනපතිවරයා, ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි බවද හඳුන්වා දී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති යං ජියෙෂි මහතා, ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇති බව පවසා තිබේ. ඒ අනුව දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමරතව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය (Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයක් වෙයි.

එසේම චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා මෙහිදී පවසා තිබේ. 

මෙහිදී යළිත් අදහස් දක්වා ඇති ජනපතිවරයා ඉදිරි වසර හතර ඇතුළදී වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දැකීම සිය අපේක්ෂාව බවත්, ඒ සඳහා උදව්  ලබා දෙන ලෙසත් යං ජියෙෂි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය චීනය ශ්‍රී ලංකාවට ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස ඇතැමුන් හඳුන්වනවා. මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා” ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබේ.

චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු  සාකච්ඡාවට එක්ව තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Visits: 304