ධම්මික පෙරේරා සිය බිරිඳ හා එක්ව DP Kids දියත් කරයි

මෙරට මුල් පෙළේ සමාගම් රැසකම හිමිකරුවෙකු වන සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා  මහතා සිය බිරිඳ වන ප්‍රසිලා පෙරේරා සමගින් එක්ව වයස අවුරුදු 2 සිට 7 දක්වා වන දරුවන් අතර අධ්‍යාපනික කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් DP Kids නමින් අලුත්ම මුල පිරීමක් සිදු කර ඇතැයි පවසයි.

දෙදෙනා එක්ව පිහිටුවා ගෙන ඇති ‘ධම්මික හා ප්‍රසිලා’ පදනම හරහා මෙම කටයුතු සිදු කෙරෙන බව පවසයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක DP Education හා DP Digital Universirty යන ඔන්ලයින් අධ්‍යාපනික ව්‍යාපෘතියේ තවත් අංගයක් බවද සඳහන් වෙයි.

මුල් ළමා වියේ අධ්‍යාපනය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කර ඇති මෙම DP Kids වෙත www.dpkids.lk හරහා පිවිසිය හැකිය. සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙයි. වීඩියෝ සහ අන්තර්ක්‍රියාකාරකම් ආකාරයෙන් මෙම වැඩසටහන් ඉදිරිපත් කෙරී ඇත.

මෙහිදී ලොව ප්‍රමුඛ අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදකයෙකු වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Age of Learning. Inc හා සහයෝගයෙන් මෙය දියත්ව තිබේ. සම්මාන ලාභී ABC Mouse.com වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් වන්නේද එම සමාගමයි. ඒ අනුව ළමා මනෝ විද්‍යාව හා කලා අන්තර්ගතය පිළිබඳව හැසිරීම් අධ්‍යයනය කරමින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් සහ වෘත්තිකයන් විසින් විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන් නිර්මාණය කර තිබේ.

එසේම DP Kids USP Studios සමගින්ද එකඟතාවකට පැමිණ තිබේ. මෙම සමාගම මගින් විවිධ විනෝදාත්මක ක්‍රියාකාරකම් හරහා අධ්‍යාපන ලබා දෙන එකිනෙකට වෙනස් සජීවීකරණ චරිත 50කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ ආයතනයකි. එසේම ඔවුන් ලොව ^ළමා වීඩියෝ වැඩසටහන්^ නිෂ්පාදනය කරන මුල් පළේ සමාගම් තුනෙන් එකකි.

අද වනවිට ලංකාව තුළ වයස අවුරුදු 2ත් 7ත් අතර වයසේ පසුවන දරුවන් මිලියන 1.32 ක් පමණ සිටින බවත්, ඉන් 20%ක් එනම් දරුවන් 264,000 ක් පමණ මෙම වැඩසටහන් හරහා පෙර පාසල් අධ්‍යාපනය හැදෑරීමට යොමු වෙනු ඇතැයිද DP Kids සඳහන් කරයි.

මෙහිදී ශ‍්‍රි ලංකාවේ සංස්කෘතීන් හා සම්ප‍්‍රදායන් අමතක නොකරමින් දේශීයව පිළිගත් අන්තර්ගතයන් මත මෙය ගොඩනැඟීම සඳහා මෙරට සිටින ප‍්‍රසිද්ධ ගායකයින්, ලේඛකයින්, චිත‍්‍රාගාරශිල්පීන් හා සජීවීකරණශිල්පීන් හා සම්බන්ධ වූ බවත් එම ආයතනය පවසයි.

ඒ අතරින් අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇගේ අවසන් කාර්යය ලෙස DP Kids වෙනුවෙන් වයස අවුරුදු 2ත් 7ත් අතර ළමුන් සඳහා සාම්ප‍්‍රදායික ගීත ලිවීමේ හා චිත‍්‍ර ඇඳීමේ කාර්යයයේ නිරත වී තිබේ. පසුව ඇගේ පවුලේ සාමාජිකයන් විසින් එය සම්පූර්ණ කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් සංගීතය මුසු කළ එය ඩිජිටල් ගීත පොත් දෙකක් ආකාරයෙන් DP Kids හරහා ඉදිරිපත් කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරන පෙර පාසල් ගීතවල ත‍්‍රිමාණ සජීවීකරණ වීඩියෝ සඳහා දේශීයකරණය වූ සජීවීකරණ චරිත 7ක් වෙනුවෙන් මෙරට ප‍්‍රමුඛ පෙළේ දේශීය සජීවීකරණ ශිල්පීන් සමඟින්ද කටයුතු කර ඇතැයි ආයතනය පවසයි. ඊට අමතරව මෙම ව්‍යාපෘතිය සඳහාම විශේෂයෙන් කලා ශිල්පීය වීඩියෝ නිර්මාණය කිරීමේදී සුප‍්‍රසිද්ධ මාධ්‍ය සමාගමක් සමඟද කටයුතු කළ බවත්, එමඟින් ළමුන්ට ඔවුන්ගේ බුද්ධිමය කුසලතා වැඩිදියුණු කිරීමේ හැකියාව ලබාදෙනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 382