ලාෆ්ස් පවර් වෙතින් 10MWක සූර්ය විදුලි බල ව්‍යාපෘතියක්

ලාෆ්ස් සමූහයට අයත් ලාෆ්ස් ගෑස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් පවර් පීඑල්සී සමාගම මගින් මෙගාවොට් 10ක සූර්ය විදුලි බල ව්‍යාපෘතියක් සඳහා රජය සමගින් ඒකාබද්ධ හවුල්කාරීත්වයකට පිවිසීමට සූදානමින් සිටින බව එම සමූහයේ සභාපති දේශබන්ධු ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.

පසුගියදා එළිදැක්වුණු ලාෆ්ස් පවර් පීඑල්සී හි 2019/20 සඳහා වන වාර්ෂික වාර්තාව  හරහා සිය කොටස්කරුවන් වෙත පණිවුඩයක් තබමින් සභාපතිවරයා මේ කරුණු සඳහන් කර තිබේ.

මෙම සූර්ය විදුලි බල ව්‍යාපෘතිය බැටරි ගබඩා පද්ධතියකින්ද සමන්විත බව පැවසෙයි. ඒ අනුව මෙවැනි ව්‍යාපෘතියක් මෙරට තුළ ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවත් සභාපතිවරයා පවසයි.

මෙම ව්‍යාපෘතිය මගින් නිපදවන විදුලි මිලය මිලදී ගැනීම සම්බන්ධයෙන් රජය සමගින් ඇති කරගන්නා එකඟතාවයෙන් අනතුරුව එය ඉදිකිරීම ආරම්භ කරන බව ලාෆ්ස් පවර් සමාගම සඳහන් කර සිටියි.

“ගතවුණු වසර තුළදී ලාෆ්ස් පවර් පීඑල්සී සමාගම මගින් සිය විදුලි බල නිෂ්පාදනය වෙත තවත් මෙගාවොට් 2.25ක බලශක්තියක් එකතු කිරීමට හැකිවුණා. එතැනදී භූමිය මත පිහිටුවන සූර්ය විදුලි පැනල මගින් මෙගාවොට් 2ක් ද වාණිජ ගොඩනැගිලි මත පිහිට වූ සූර්ය පැනල මගින් තවත් මෙගාවොට් 0.25ක්ද නිපදවීමට හැකියාව ලැබුණා.” සභාපතිවරයා පවසයි.

ඒ අනුව මේ දක්වා ලාෆ්ස් පවර් පීඑල්සී සමගින් සිදු කරන සමස්ත විදුලි බල නිෂ්පාදනය මෙගාවොට් 24.32ක් දක්වා ඉහළ නැංවී තිබේ. ඒ හරහා සිය සමාගම මෙම ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ තරගකරුවෙකු බවට පත්ව ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“ඉදිරියේදීත් මේ වහල මත සවි කෙරෙන සූර්ය පැනල හරහා උත්පාදනය කරන විදුලිය ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් මෙගොවොට් 2ක කුඩා ජල විදුලි බලාගාරයක් මේ වනවිටත් අප ඉදි කරමින් සිටින අතර එය 2021 මාර්තු මාසයේදී මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි.” සභාපතිවරයා පවසයි.

විශේෂයෙන්ම තිරසාර විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් සිය සමාගම ඉදිරි කාලයේදී වැඩි අවධානයක් යොමු කරන බවත් ලාෆ්ස් පවර් පීඑල්සී මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි. මේ වසරේ සිය වාර්ෂික වාර්තාවේ තේමාව ලෙසද ඔවුන් එය භාවිතා කර ඇත.

Visits: 572