සමාජ මාධ්‍ය තුළ ‘කංසා’ ප්‍රවර්ධනය කරන්නන්ට නීතිය යට‍තේ දඩුවම් – අගමැති මහින්ද රාජපක්ෂ

වර්තමානයේ දී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් “කංසා” සම්බන්ධ සාමාන්‍ය ජනතාව තුළ ධනාත්මක ආකල්ප සහ මිත්‍යා මත ඇති කරමින් විද්වත් වෘත්තිකයින් සහ විවිධ පුද්ගලයින් කටයුතු කරගෙන යමින් සිටින බව අගමැතිවරයා චෝදනා කරයි.

පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ දිනයේ මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මත්ද්‍ර‍ව්‍ය දුර්භාවිතය නිවාරණය කිරීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍ර‍තිපත්තියට අනුකූලව හා රජයේ මත්ද්‍ර‍ව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සැලසුම ක්‍රියාවට නැංවීම යටතේ ‘කංසා’ නීතිගත කිරීමට කිසිඳු ආයතනයකට ඉඩක් ලබා දී නොමැති බව අගමැතිවරයා මෙහිදී පවසා ඇත.

“විවිධ පුද්ගලයන් හා ආයතන වෛද්‍යමය කාර්යයන් සඳහා ‘කංසා’ වගා කිරීමටත්, ආනයනය කිරීමටත් ඉල්ලා තිබෙනවා. එයට අමතරව, ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද ඔවුනට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් නිපදවීම සඳහා නිසි ප්‍ර‍මිතීන්ගෙන් යුත් ‘කංසා’ ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.  එම නිසා, 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පනතේ 8 වන වගන්තිය ප්‍ර‍කාරව ‘කංසා’ ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට ඇති හැකියාව සහ එහි අහිතකර බලපෑම පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා.” අගමැතිවරයා පවසා ඇත.

මත්පැන්/දුම්වැටි හා මත්ද්‍රව්‍ය අද වන විට මුළු මහත් ලෝකය පුරා ව්‍යාප්තව පවතින වසංගතයක් බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍යමය හේතූන් හා ආර්ථිකමය බලපෑම වටහා ගැනීමත් සමඟ වර්තමාන සමාජය දුම්වැටිභාවිතයෙන් ඈත් වෙමින් සිටීම සතුටට කාරණයක් වී තිබේ.

“දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු  පාර්ශ්වකරුවන්ගේ දිර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස අද වන විට දුම්වැටි භාවිතය අඩු වීම සමාජය තුළ දක්නට ලැබෙනවා.” අගමැතිවරයා පවසා ඇත.

නමුත්, දුම්වැටි අලෙවිය පහත වැටීම සම්බන්ධයෙන් සාක්ෂි පැවතුණ ද, ඒ සඳහා දේශීය වශයෙන් දුම්වැටි සඳහා විකල්ප නිෂ්පාදන සොයන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, “කංසා”  ද ඒ සඳහා හොඳම විකල්පයක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැති බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පවසා තිබේ.

මේ අතර, ‘කංසා’  භාවිතයේ කායජීවි, මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති බවත්, සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන ‘කංසා’ ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග, විමර්ශන කටයුතු සිදු කරන බවත් අගමැතිවරයා පවසා ඇත.

ඒ සඳහා නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.

“මත්ද්‍ර‍ව්‍ය නිවාරණය සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහන් පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන, වැඩබිම් ඇතුළු ඉලක්කගත සමාජයීය කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්තව සිදු කරමින් සිටින අතර, පාසල් ගුරුවරු හා ගුරු උපදේශකයන් සඳහා වන දැනුවත් කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.” අගමැතිවරයා පාර්ලිමේන්තුව වෙත පවසා තිබේ. 

Visits: 54