රුපියල් 5000ට ආයෝජන අවස්ථාව දෙන Softlogic Invest

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගට අයත් සොෆ්ට්ලොජික් කැපිටල් හි ආයෝජන කළමනාකරණ අංශය ලෙස ක්‍රියාත්මක සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් හරහා රුපියල් 5,000ක් වැනි මුදල් අතේ ඇති ඕනෑම අයෙකුට මුදල් ආයෝජනය කිරීමේ අවස්ථාව සලසා දෙන බව පවසයි.

එම සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කරන ආකාරයට සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් යනු තමාගේ ජීවිතයේ ඉලක්ක සහ සිහිත කුමක් වුවත් එය සාක්ෂාත් කරගැනීමට ප්‍රාර්ථනා කරන වර්තමාන තරුණ තරුණියන්ට උපකාර කිරීම වෙනුවෙන් බිහි වූ සමාගමකි.

එහිදී මුදල් ආයෝජනය සාමාන්‍යයෙන් ඉතා සංකීර්ණ වුවත් එහි සංකීර්ණ භාවය අවම කරමින් සරලව ඩිජිටල්කරණය කර රුපියල් 5000ක් අතේ ඇති ඕනෑම අයෙකුට ආයෝජන අවස්ථාව සලසා දීම මෙහි අරමුණ බව  පවසයි.

ඒ අනුව මෙහිදී ආයෝජකයන්ට සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් සතු අරමුදල් දෙකක් සඳහා සිය ආයෝජන සිදු කළ  හැකිය.

ඉන් පළමුවැන්න සොෆ්ට්ලොජික් කොටස් අරමුදලයි. මෙහිදී එම ආයෝජන සංචිත කර ඒවා කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සිදු වන බව සමාගම පවසයි. එය දිගු කාලීන (මාස 24ට වැඩි) ආයෝජන මාර්ගයක් බවද ඔවුන් සඳහන් කරයි. එසේම මෙය වෙළෙඳ පොළ වෙනස්කම්වල බලපෑමට ලක් වන බවත් සමාගම පෙන්වා දෙයි.

මෙම ආයෝජනයේ අරමුණ වන්නේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමේ මුදල් වර්ධනය කරගැනීමට සහාය වීමයි. 2020 ජූලි මාසයේ සිට මෙය ආරම්භ කෙරී ඇත. ඇතුළත්වීමේ ගාස්තුවක් නොමැති මෙම ආයෝජනය සඳහා කළමනාකරණ ගාස්තුව ලෙස වාර්ෂිකව 2.25%ක් මුළු අරමුදල සඳහා අයකරගනී. එහෙත් තනි ආයෝජකයන් සඳහා ගාස්තුවක් නැත. එසේම පරිපාලක ගාස්තුවක් ලෙස වාර්ෂිකව 0.15%ක් අරමුදලට අයකරයි. එහෙත් තනි ආයෝජකයන් සඳහා එවැනි ගාස්තුවක් නැත.

මේ අතර අවශ්‍ය අවස්ථාවකදී මෙම අරමුදලින් සිය ආයෝජන ඉවත් කිරිමේ හැකියාවද පවතින අතර ඒ සඳහා ගාස්තුවක් අය කෙරේ. ඒ අනුව පළමු වසරේදී ඉවත්වීමේදී ගාස්තුව 3% කි. දෙවැනි වසරේදී ඉවත්වීමේ ගාස්තුව 2% කි. තුන්වන වසරේදී එය 1%  කි. වසර තුනෙන් පසුව ඉවත් වීමේ ගාස්තු ය නොකරයි.

රුපියල් 5,000ක් වැනි සුළු ආරම්භක මුදලකින් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය කිරීමට මෙමගින් අවස්ථාව ලැබීම වැදගත් අවස්ථාවක් බව සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් පවසයි. එසේම විවිධ වූ සමාගම් ගණනාවක කොටස් සඳහා ආයෝජනය කිරිම නිසා එහි අවදානම අඩු බවද ඔවුන් කියයි.

“කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට කැමති එමෙන්ම වෙළෙඳ පොළ උච්චාවචනයන් හමුවේ තම අරමුදල් දීර්ඝ කාලයක් රඳවා තබා ගත  හැකි ආයෝජකයන් සඳහා වඩාත් යෝග්‍ය වේ.” සොෆට්ලොජික් ෆිනෑන්ස් සඳහන් කරයි.

මෙහිදී සොෆ්ට්ලොජික් කොටස් අරමුදලේ ඒකක වටිනාකම අනුව (2020 අගෝස්තු 25 වන විට) විකුණුම් මිල රුපියල් 96.4855 ක් වන අතර ගැණුම් මිල රුපියල් 100.6245 ක් බවත් එම සමාගම පවසයි.

දෙවැනි ආයෝජන ක්‍රමය වන්නේ සොෆ්ට්ලොංජික් මුදල් වෙළෙඳ පොළ අරමුදලයි. කෙටි කාලයක් සඳහා (සාමාන්‍යයෙන් මාස 12ක් හෝ ඊට අඩු) ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට මෙය වඩාත්ම ගැළපෙන බව සමාගම පවසයි.

එම වකවානුවේදී හොඳ ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත්, එම අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත්වල, ස්ථාවර තැන්පතු තුළ, ණයකර තුළ සහ වාණිජ පත්‍ර  වැනි කෙටි කාලීන සුරැකුම්පත් සඳහා ආයෝජනය කෙරෙන බවද සමාගම සඳහන් කරයි. එහිදී ආයෝජකයෙකු ලෙස අමතර ගාස්තුවකින් තොරව මෙම අරමුදලට ප්‍රවේශ වීමට හා ඉවත් වීමට හැකියාව ලැබීම වාසියක් බවත් සමාගම පෙන්වා දෙයි.

මෙම සොෆ්ට්ලොංජික් මුදල් වෙළෙඳ පොළ අරමුදල සඳහා කළමනාකරණ ගාස්තුව ලෙස වාර්ෂිකව 0.45%ක් මුළු අරමුදලට අයකරන බවත්, තනි ආයෝජකයන් සඳහා ගාස්තුවක් අය නොකරන බවත් පැවසෙයි. එසේම පරිපාලක ගාස්තුව ලෙස වාර්ෂිකව 0.15%ක් මුළු අරමුදලට අයකරනු ලබන අතර තනි ආයෝජකයන් සඳහා ගාස්තුවක් අය නොකරන බවත් පවසයි.

සමාගම පවසන ආකාරයට සොෆ්ට්ලොජික් මුදල් වෙළෙඳ පොළ අරමුදලේ ඒකක මිල (2020 අගෝස්තු 25 වන විට) විකුණුම් මිල සහ ගැනුම් මිල රුපියල් 100.8450 කි.

වැඩිවිස්තර සඳහා http://softlogicinvest.lk/ වෙබ් අඩවියට පිවිසිය හැකිය.

වැදගත් – ඔබ සිදු කරන  සෑම මුදල් ආයෝජනයකම අවදානමක් පවතින බව සෑම විටම සිහිතබා ගත  යුතු අතර ආයෝජනයට පෙර ඒ පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීම ඔබ සතු වගකීමක් මෙන්ම අයිතිවාසිකමක් බවද ඉකොනොමි ඇන්ඩි බිස්නස් ශ්‍රී ලංකා මතක් කරදෙයි.

Visits: 622