ලංකා IOC ඉන්ධන නොවන ආදායම් සෙවීමට යොමුවෙනවාලු

දිවයින පුරා පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් තුළ දැනට ක්‍රියාත්මක විදුලි මෝටර් රථ ආරෝපණ ස්ථාන 4 ඉදිරි වසර කිහිපයේදී ඉහළ දැමීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා අයිඕසී සමාගමේ සභාපති රන්ජන් කුමාර් මොහාපාට්‍රා මහතා පවසයි. 2019/20 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

“රට තුළ වඩාත් පරිසර හිතකාමී බලශක්ති වේදිකාවක් පිහිටුවීම සඳහා වන අපගේ සමාගමේ දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පාරිභෝගිකයන් හට අපගේ ඉන්ධන පිරවුම්හල් තුළ සිය විදුලි වාහන ආරෝපණ ස්ථාන තවදුරටත් පිහිටුවීමට කටයුතු යොදනවා.” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.

ඒ හරහා සමාජය, පාරිභෝගිකයන් වෙත මෙන්ම පරිසරය වෙත සිදුවන බලපෑම් යන කාරණා තුන සම්බන්ධයෙන් තිරසාර අනාගත දැක්මක් ඇති කිරීම සිය අරමුණ බවත් සභාබතිවරයා සඳහන් කරයි.

ඒ අනුව සිය ව්‍යාපාර කටයුතු වඩාත් තිරසාර අන්දමින් පවත්වාගෙන යාම සඳහා වන දායකත්වය වෙනුවෙන් මෙම කටයුතු සිදු කරන බව සභාපතිවරයා සඳහන් කරයි. එහි මුලපිරීමක් ලෙස දැනටමත් සිය ඉන්ධනහල් සූර්ය බලයෙන් බලගැන්වෙන බවත් ඔහු පවසයි.

“අපි අපගේ භූගෝලීය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරන අතරතුරදීම අපගේ සිල්ලර ඉන්ධන පිරවුම්හල් වඩාත් හරිත සහ පරිසර හිතකාමී විශේෂාංග සහිතව ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා. එහි එක් අවස්ථාවක් ලෙස ගෙවුණු වසර තුළදී අපි අපගේ ඉන්ධන පිරවුම්හල් 9ක වහල මත සූර්ය පැනල සවි කිරීමට කටයුතු කළා. ඒ අනුව අද වනවිට සමාගම යටතේ පවතින ඉන්ධන පිරිවුම්හල් 14ක් තුළ මෙම සූර්ය විදුලි බලය හරහා විදුලිය උත්පාදනය කෙරෙන අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධති වෙත සැපයීමද සිදු කරනවා.”

ඒ අනුව ඉදිරි වසර කිහිපයේදී වඩා වැඩියෙන් සිය ඉන්ධන පිරවුම්හල් තුළ මෙවැනි විදුලි වාහන ආරෝපණ ස්ථාන සහ වහලමත සවි කරන සූර්ය පැනල පිහිටුවීමට කටයුතු යොදන බවත් ලංකා අයිඕසී සමාගමේ සභාපතිවරයා පවසයි.

අද වනවිට ලංකා අයිඕසී සමාගම සතුව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 208 ක් පිහිටා ඇත. ඉන් ඉන්ධන පිරවුම්හල් 4ක් තුළ විදුලි මෝටර් රථ ආරෝපණ ස්ථාන පිහිටා ඇත. එසේම ඉන් පිරවුම්හල් 10ක් තුළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සවි කිරිමටද එම සමාගම මූලිකත්වය ගෙන තිබේ.

මෙවැනි අගය එකතු කළ සේවා සැපයීම හරහා ඉදිරියේදී සිය ඉන්ධන පිරවුම්හල් ජාලය හරහා ලැබෙන ඉන්ධන නොවන ආදායම ඉහළ නංවා ගැනීම සමාගමේ අරමුණ වී ඇත. එසේම අනාගතයේදී රට තුළ ඉහළ යාමේ හැකියාවක් පවතින විදුලි ආරෝපිත මෝටර් රථ ප්‍රමාණය සඳහා සිය ජාලය උසස් කිරීමේ සූදානමක්ද මේ හරහා සිදුවන බව සමාගම සඳහන් කර සිටියි.

Visits: 520