COVID-19 නිසා මේ වසරේ විදෙස් රැකියා සඳහා යන්නන් 40,000කට සීමා වෙලා

විවිධ රැකියා සඳහා මෙරට ජනතාවගෙන් ලක්ෂ 2ක්  පමණ පිරිසක් සෑම වසරකදීම විදෙස් ගතවීමක් සිදු වුවත් මේ වසරේ බලපෑ කොරෝනා වසංගතය හේතුවෙන් එම සංඛ්‍යාව 40,000 කට සීමා වී ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය ජනපතිවරයාට දැනුම් දී තිබේ.

එම අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදාළ නිලධාරීන් විසින් මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

විශේෂයෙන්ම රැකියා සඳහා විගමනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර ශ්‍රී ලංකාවේ සමස්ත විගමනික ප්‍රජාව මිලියන 1.2කි.  

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් පිටරට ගුවන් තොටුපල හා ගුවන් අවකාශය විවෘත කළ වහාම පුහුණු ශ්‍රමිකයන් වැඩි සංඛ්‍යාවක් පිටරටවල සේවයට යොමු කිරිම සඳහා මෙම කාලය තුළදී ඔවුන්ට භාෂා දැනුම ලබාදීම හා පුහුණු කිරීම පුළුල් කර විදේශ ශ්‍රම වෙළෙඳපොළ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ සංචිතයක් ස්ථාපනය උදෙසා දැනටමත් පුහුණු මධ්‍යස්ථානයක 17 ක පංති ආරම්භ කර ඇතැයිද මෙහිදී නිලධාරීන් සඳහන් කර තිබේ.

එසේම ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන්  විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රමිකයින් විදෙස්ගත කරන රැකියා නියෝජිතායතන වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බවත්, ශ්‍රමිකයන්ට විදේශයන්හි දී සිදුවන හිරිහැරවලදි මේ ආයතනවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

“ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාව  විදේශ විනිමය ඉපැයීම නොව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමයි” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

පුහුණු ශ්‍රමිකයින් සඳහා ලෝක රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බවත්, කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව සැලසුම් සකස් කරන්නැයි උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

විශේෂයෙන්ම පෝලන්තය, රුමේනියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළෙඳ පොළ දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතින බවත්, ඊට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළ යුතු යයි ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ අතර උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා අවස්ථා හඳුනාගැනිමද වැදගත් බව පෙන්වා දී ඇති ජනපතිවරයා කලා උපාධිධාරීන්ට වුවද මේ අවස්ථා හිමිකරගත හැකි බවද පවසා තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇත.

Visits: 48