දකුණු ආසියාවේ පළමු ඩිජිටල් ලොතරැයිය ‘සසිරි’ ඔක්. 14 සිට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ඉතිහාසයේ තවත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දකුණු ආසියාවේ පළමු ඩිජිටල් ලොතරැයිය ලෙස ‘සසිරි’ ලොතරැයිය ඉදිරිපත් කරන බව පවසයි. මෙම නව ලොතරැයිය මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට නිල වශයෙන් හඳුන්වාදීම පසුගියදා සිදු විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් හඳුන්වා දී ඇති DLB Sweep ස්මාට් දුරකතන ඇප් වැඩසටහන හරහා මෙම ලොතරැයිය මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට පවතී. මෙහිදී පාරිභෝගිකයන්ට තමන් කැමැති අංක තුනක් ලොතරැයිය සඳහා තෝරාගත හැකි අතර ලක්ෂයේ දෑති ඇතුළු තවත් තෑගි දිනා ගැනීමේ අවස්ථාව පවතී. ඒ අනුව ජයග්‍රාහකයන්ට සිය බැංකු ගිණුම් එම එම ජයග්‍රාහී මුදල් බැර කිරීමක්ද සිදු වෙයි.

මෙම ‘සසිරි’ ලොතරැයියේ පළමු දිනුම් ඇදීම ලබන ඔක්තෝබර් 14 වැනිදා සිදු කිරිමට නියමිතව ඇති අතර, ඉන් පසුව සතියේ සෑම බදාදා සහ සෙනසුරාදා දිනයකදීම දිනුම් ඇදීම සිදු වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය සඳහන් කර සිටියි.

මේ අතර ලග්න වාසනා, සුපර් බෝල් සහ ශනිදා වාසනා ලොතරැයි පත්ද මෙම ඇප් වැඩසටහන හරහා මුද්‍රිත ටිකට්පත් ලෙස මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී තිබේ. එවැනි ටිකට්පත්වල දිනුම් සඳහා හිමි මුදල් ටිකට් පත් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් හරහා හෝ සංවර්ධන ලොතරැයි ප්‍රධාන කාර්යාලය මගින් ලබා ගත හැකිය.

විශේෂයෙන්ම ලොතරැයි දිනුම් ඇදීම සඳහා මෙතෙක් පවතින සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට නව ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා එකතු කිරීම මෙම කටයුත්තේ අරමුණ වී තිබේ. ඒ අනුව සංවර්ධන ලොතරැයියේ මෙම DLB Sweep ඇප් වැඩසටහන www.dlb.lk/apps. හරහා ස්මාට් දුරකතනයට ඩවුන්ලෝඩ් කරගත හැකිය.

මෙලෙස ‘සසිරි’ නමින් ඩිජිටල් ලොතරැයි පතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය, එහි මූලික අරමුණ ජනාධිපතිවරයා විසින් පිහිටුවා ඇති කොවිඩ්-19 අරමුදල වෙනුවෙන් මුදල් රැස් කිරීම බව සඳහන් කරයි. ඒ අනුව ලොතරැයි පත් අලෙවිය හරහා ලැබෙන ලාභය ජනාධිපති අරමුදලට බැර කෙරෙන බවත් අනතුරුව එම මුදල් කොවිඩ්-19 අරමුදල වෙත යැවෙන බවත් සඳහන් වෙයි.

Visits: 353