කොමර්ෂල් බැංකුවට ඩො. මිලියන 50ක IFC ආයෝජනය හිමිවෙයි

කොමර්ෂල් බැංකුව තමන් සතු සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 115ක් (115,197,186) පෞද්ගලික කොටස් නිකුතුවක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC – International Finance Corporation) වෙත අලෙවි කිරීමට අදාළව  බැංකුව වෙත හිමිවීමට තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මුදල තමන් වෙත ලැබුණු බව කොමර්ෂල් බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

මෙම මුදලේ රුපියල් වටිනාකම රුපියල් බිලියන 9.215 ක් ලෙස ගණන් බලා තිබේ. මෙම ගනුදෙනුව සිය බැංකුව මගින් සිදු කළ පළමු විදේශීය කොටස් නිකුතුව බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. එසේම නව කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මගින් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ලද විශාලතම විදෙස් ආයෝජනය ලෙසත් මෙය සැලකෙන බව කොමර්ෂල් බැංකුව  පවසයි.

මෙම ආයෝජනයත් සමගින් කොමර්ෂල් බැංකුවේ විශාලතම කොටස් හිමිකරුවා වන IFC Emerging Asia Fund LP (EA අරමුදල) සහ IFC Financial Institution Growth Fund LP (FIG අරමුදල) හි කොටස් හිමිකාරීත්වය තවදුරටත් ශක්තිමත් වන බවත් ඒ හරහා බැංකුව සතු විදේශීය කොටස් හිමිකම 30%ක් දක්වා ඉහළ යන බවත් බැංකුව පවසයි.

එසේම ඒ හරහා විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් තුළ විශ්වාසනීයත්වය සහ පැහැදීමක් ඇති වන බවත් බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව මගින් මෙම ගනුදෙනුව පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව වෙත සිදු කර ඇති නිවේදනයට අනුව මිලදී ගත් සමස්ත කොටස් සංඛ්‍යාව වන 115,197,186 න් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) වෙත හිමි වූ බැංකුවේ කොටස් සංඛ්‍යාව 34,559,156ක් වන බවත්, IFC FIG අරමුදල සහ IFC EA අරමුදල වෙත කොටස් 40,319,015 බැගින් කොටස් හිමිව ඇති බවත් පැවසෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා, “කොමර්ෂල් බැංකුව වෙත ජාත්‍යන්තර මූල්‍ය සමායතනය හරහා සිදු වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකාව පිළිබඳ වන විශ්වාසය වෙත අතිශය විශාල ලෙස බලපානවා. මේ ආයෝජනය බැංකුව වෙත මෙන්ම රට වෙතත් බොහෝ ප්‍රතිලාභ අත්කර දෙනවා. විශේෂයෙන්ම මෙවැනි වසංගත කාලයකදී එය අතිශය වැදගත්.” යනුවෙන් පවසා සිටියි.

Visits: 489