එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා කෙටි පණිවිඩ උපකාරක සේවාවක්

එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දුන් බව පවසයි.

මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන බවත්, එකී වැදගත්කම හේතුකොට ගෙන සිය සමාගම මෙවැනි හඳුන්වාදීමක් සඳහා ඉදිරිපත් වූ බවත් එයාර්ටෙල් සමාගමෙ සඳහන් කරයි.

ඔක්තෝම්බර් 10 වනදාට යෙදී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය 2020 සැමරීමට සමගාමීව මෙම කෙටි පණිවිඩ සේවාව හඳුන්වාදී ඇත. එය එදින සිට මුළු දිවයින පුරා ක‍්‍රියාත්මක වන බවත් එයාර්ටෙල් පවසයි.

මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින් සඳහා නොමිලේ වන අතර අනෙකුත් ජංගම දුරකථන ජාල පරිශීලකයින්ට ද ඊට ප‍්‍රවේශ විය හැකිය.

අවශ්‍ය වූ විටෙක පරිශීලකයා සිදු කළ යුත්තේ 1926 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම පමණක් වන අතර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු විසින් මෙයට ක්ෂණික ප‍්‍රතිචාරයක් ලබා දෙනු ඇත.

ඉංග‍්‍රීසි, සිංහල හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවය ලබා ගත හැකි වෘත්තීයමය මනෝ උපදේශකවරුන් වෙත පරිශීලකයින් සම්බන්ධ කරන බවත් එයාර්ටෙල් සමාගම සඳහන් කරයි.

මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා “තරුණ ප‍්‍රජාව ඩිජිටල් තාක්ෂණයන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වීම නිසා ඉගෙනීම, සමාජගතකරණය හා සන්නිවේදනය යන අංශ වෙනසකට ලක්වෙමින් තිබෙනවා. එයාර්ටෙල් හිදී, අප සෑම විටම මානුෂීය අවශ්‍යතා සමඟ තාක්ෂණය මිශ‍්‍ර කරමින් අපගේ පාරිභෝගිකයින් සඳහා අර්ථවත් සබඳතා නිර්මාණය කර ගත හැකි ක‍්‍රමවේද පිළිබඳව සොයා බලනවා, මෙම වැඩසටහනද ඉන් එකක්.” යනුවෙන් පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය, පුෂ්පා රණසිංහ මහත්මිය, “2018 දී 1926 විශේෂිත දුරකතන අංකය හඳුන්වා දීමත් සමඟ කාංසාව, විශාදය හා මානසික ආතතිය හා වෙනත් මානසික සෞඛ්‍ය ගැටළුවලට අවශ්‍ය උපකාර ලබා ගැනීම සඳහා පුද්ගලයින්ගෙන් ලැබෙන ඇමතුම් සංඛ්‍යාව ක‍්‍රමයෙන් වැඩි වී තිබෙනවා වගේම එහිදී අප ඔවුන්ව ආසන්නතම උපකාරක මධ්‍යස්ථානය වෙත යොමු කරනවා.” යනුවෙන් පවසා තිබේ.

“ජංගම දුරකතන හා කෙටි පණිවිඩ හුවමාරු කිරීම විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව අතර කැමතිම සන්නිවේදන මෙවලම බවට පත් වෙමින් ජංගම දුරකතනවලටම වෙන් වූ සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත වන වෘත්තිකයින් ලෙස අපට උපකාර අවශ්‍ය පුද්ගලයින්ට ඒ සඳහා ප‍්‍රවේශ විය හැකි දියුණු ක‍්‍රම සොයා ගැනීමට හැකි වී තිබෙනවා. 1926 ක්ෂණික ඇමතුම් සේවාව කෙටි පණිවිඩ පදනම් කරගත් සේවාවක් දක්වා දියුණු කිරීමට උපකාර කිරීම ගැන එයාර්ටෙල් සමාගමට අප ස්තූතිවන්ත වනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 46