කොටස් හුවමාරුව යම් තරමකින් යළි යථාවත් වීම අරඹයි

දින දෙකක් තුළ පසුබැසීමක් පෙන්නුම් කළ කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අද (ඔක්තෝබර් 07) දිනයේදී යළි යම් තරමකින් යථාවත්වීමක් පෙන්නුම් කෙරිණි. එහිදී අඩු මිලට කොටස් මිලදී ගැනීම සඳහා උනන්දු වන ආයෝජක පිරිස් මෙන්ම ලාබ අපේක්ෂාවෙන් සිය කොටස් අලෙවි කරන පිරිස් අද දිනයේදී ගනුදෙනු සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දී තිබෙන බව කොටස් තැරැව්කාර සමාගම්  පවසයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,499.69 ත් ඒකක 5,611.99 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,553.22 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 06) දිනයට සාපේක්ෂව එය ඒකක 18.61 ක් එනම් 0.34%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව සහ ඩීඑෆ්සීසී බැංකු ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 53%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 118ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 62ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+5.22), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+3.85), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.31),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ්  ශ්‍රී ලංකා පීඑල්සී DIST (+2.12), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.88),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.71), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-3.38),  රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-2.82), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-2.3)  සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-1.55) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,272.89 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 06) දිනයට සාපේක්ෂව ඒකක 16.29 ක එනම් 0.03%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.88ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 06දා) වාර්තා කළ රුපියල් බිලියන 2.8 ට සාපේක්ෂව 38%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.42 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.22%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 87.42ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.16ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.07කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 41.71ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 15.01කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.06ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 2.04ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 53% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 787ක සහ රුපියල් මිලියන 242ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 176