රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී හිමිකම් නිකුතුවකට සැරසෙයි

රිච්ලයිෆ් සහ රේනුකා සන්නාම හිමි රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා ඔවුන් මේ පිළිබඳව කොටස් වෙළෙඳ පොළ දැනුවත් කර තිබේ.

සිය සමාගම සතු ණය පියවීමටත්, සමාගමේ පරිපාලිත සමාගම් සහ උප පරිපාලිත සමාගම් තුළ ඉදිරි ආයෝජන සඳහා මුදල් රැස් කරගැනීමටත් මෙම නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී එම සමාගම සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් මිලියන 66ක් (66,775,969ක් – හැට හය මිලියන හත්ලක්ෂ හැත්තෑපන්දහස් නවසිය හැට නවයක්) සහ සාමාන්‍ය නිශ්ඡන්ද කොටස් මිලියන 9ක් (9,642,622ක් – නව මිලියන හයලක්ෂ හතලිස් දෙදහස් හයසිය විසි දෙකක්) නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට හිමිකම් නිකුතුවේදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 4ක් සඳහා අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් තුනක් බැගිනුත්, දැනට පවතින සෑම සාමාන්‍ය නිශ්-ඡන්ද කොටස් හතරකටම අලුතින් සාමාන්‍ය නිශ්-ඡන්ද කොටස් 3 බැගිනුත් වන ලෙස මෙම කොටස් අනුපාතය සකස් කෙරී ඇතැයි රේනාකු හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 14 බැගිනුත් සාමාන්‍ය නිශ්-ඡන්ද කොටසක් රුපියල් 10ක මුදලකටත් මිල කෙරී ඇත. ඒ අනුව මෙම වටිනාකම යටතේ ඡන්ද  හිමි කොටස් නිකුතුවෙන් රුපියල් මිලියන 934ක් (934,863,566ක්) මුදලක් රැස් කරගැනීමටත්, සාමාන්‍ය නිශ්-ඡන්ද කොටස් නිකුත් කිරීමෙන් රුපියල් මිලියන 96 ක් (96,426,220ක්) රැස් කරගැනීමත් අරමුණ වී තිබේ.

මෙම හිමිකම් නිකුතුව පිළිබඳව අනුමැතිය රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සීහිහි අතිවිශේෂ මහා සභා රැස්වීමේදී එහි කොටස් හිමිකරුවන් විසින් ගනු ලැබීමට නියමිතව ඇති අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් මෙම ලැයිස්තුගත කොටස් අලෙවිය සඳහා අනුමැතිය ලබා දීමට නියමිතව තිබේ.

2020 ජූනි 30 වැනිදා නිකුත් වුණු රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි අවසන් මූල්‍ය ප්‍රකාශනයට අනුව එහි වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 1,198,897,063 කි.

Visits: 548