අලුත්ම කොවිඩ් පොකුර නිසා දර්ශක අගයන් කැපී පෙනෙන විචලනයක

කොළඹ කොටස් හුවමාරුව තුළ අද (ඔක්තෝබර් 06) සිදු වූ ගනුදෙනු සඳහාද රට තුළ පවතින අලුත්ම කොවිඩ්-19 ව්‍යාප්තියේ බලපෑම කැපී පෙනෙන ලෙස එල්ල විය. එහිදී දර්ශක අගයන්හි වටිනාකම් එහා – මෙහා වීම් ඉතා හොඳින් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව දිනය ආරම්භයේදී යම් කඩා වැටීමක් පෙන්නුම් කළ දර්ශක අගයන් අඩුමිල කොටස් එකතු කරන්නන් නිසා පසුව යම් ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. එහෙත් තවදුරටත් වාර්තා වූ වසංගත ව්‍යාප්තිය යළිත් වටයකට දර්ශක අගයන් පහත හෙළීමට හේතු වූ  බවද එම සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් අද දිනයේදී විදේශ විකුණුම් යම් අඩුවීමක් පෙන්නුම් කර තිබේ.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,390.81 ත් ඒකක 5,760.01 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,534.61 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 05) දිනයට සාපේක්ෂව එය ඒකක 52.27 ක් එනම් -0.94%ක  පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වුණු යුනියන් බැංකුවේ ගනුදෙනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 1%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 64ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 136ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+8.34), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+2.43), ලයන් බෘවරී සිලෝන් පීඑල්සී LION (+1.99),  ආසිටි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+1.84), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+1.64),  බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-11.26), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-6.89),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-5.48), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-4.97)  සහ බ්‍රවුන්ස් ඉන්වෙන්ස්මන්ට් පීඑල්සී BIL (-3.31) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,272.22 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 05) දිනයට සාපේක්ෂව ඒකක 16.29 ක එනම් -0.71%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 05දා) වාර්තා කළ රුපියල් බිලියන 3.82 ට සාපේක්ෂව 27%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය. එසේම විදෙස් විකුණුම්ද යම් අඩුවීමක් පෙන්නුම් කෙරිණි.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.4 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.81%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 92.08ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 68.95ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 23.1කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 40.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 15.45කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 13.49ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 506ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 18% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 504ක සහ රුපියල් මිලියන 500ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 189