නොවැම්බර් අයවැයෙන් පසුව ආයෝජකයන් ආකර්ෂණයට ‘රෝඩ් ෂෝ’

ඉදිරි 2021 වසර සඳහා වන වත්මන් රජයේ මංගල අයවැය ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, විදේශීය ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා අතථ්‍ය (වර්චුවල්) ආකාරයෙන් ක්‍රියාත්මක ‘රෝඩ් ෂෝ’ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

පසුගියදා පැවැත්වුණු හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ කරුණු සඳහන් කර තිබේ. ඉදිරි වසර සඳහා වන රජයේ අයවැය ලබන නොවැම්බර් 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ග හරහා වර්තමාන රජයේ කෙටි කාලීන මුදල් සහ මූල්‍ය සැලසුම් පිළිබඳව වඩාත් හොඳ පැහැදිලිතාවක් ආයෝජකයන් වෙත හිමි වන බවත්, ඒ හරහා නව රජයේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වන මුලපිරීම් සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම දැනටමත් ශ්‍රී ලංකාව මෙතෙක් සිදු කරගෙන ආ ආකාරයටම ඉදිරියටත් ණය ආපසු ගෙවීමේ කටයුතු එලෙසින්ම සම්පූර්ණ කිරීමටත් කටයුතු යොදන බවට විදේශීය ආයෝජකයන් ඉදිරියේ සහතික වන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

ඊට උදාහරණ ලෙස ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ පසුගිය ඔක්තෝබර් 4 වැනිදා කල්පිරීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදල ඔක්තෝබර් 02 වැනිදා වනවිට සම්පූර්ණයෙන්ම ගෙවාදැමූ බවත් ඔහු සඳහන් කර සිටියි.

මේ අතර, පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඉන්දියානු සංචිත බැංකුවත් අතර ඇති කරගත් විදේශ විනිමය හුවමාරු එකඟතාව (SWAP) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක මුදලක් ලබා ගැනීමට හැකි වූ බවත්, චීන සංවර්ධන බැංකුව මගින් ලබා ගැනීමට නියමිත විදේශ මුදල් ඒකක යටතේ වන එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක මූල්‍ය පහසුකමේ දෙවැනි කොටස ඔක්තෝබර් මාසයේදී හිමි වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තියෙන් පසුව කඩා වැටුණු රටෙහි ආර්ථිකය රජයේ යහපත් ප්‍රතිපත්ති හේතුවෙන් යළිත් ප්‍රකෘතිමත් වෙමින් පවතින බවත්, එහිදී සාර්ව ආර්ථික ස්ථායිතාව රැකගනිමින් සහ රාජ්‍ය ව්‍යවසාය නිසි ලෙස කළමනාකරණය කරගනිමින් වසර 2025 වන විට ශ්‍රී ලංකාව ‘Doing Business’ දර්ශකයේ 25 වැනි ස්ථානයට ගෙන ඒම සිය අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එසේම වසර 11ක් පුරාවට පවත්වාගෙන ආ තනි මැදි අගයේ උද්ධමන මට්ටම තවදුරටත් එලෙසින්ම පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයට මූල්‍ය අංශය ඉදිරියටත් ශක්තිමත් කරන බවද හෙතෙම සඳහන් කරයි.

මේ අතර භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර සඳහා වන විදේශීය ආයෝජන ආකර්ෂණය ඉදිරි මාස කිහිපයේදී කැපී පෙනෙන ප්‍රමාණයකින් ඉහළ යාමේ අවස්ථාවක් බවතින බවත්, 2014 වසර වන විට භාණ්ඩාගාර බිල්පත් තුළ විදෙස් ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 3,450ක් ඉක්මවූ අවස්ථාවක් පෙන්නුම් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Visits: 439