MAS Intimates සේවකයන්ට අලුත් අවුරුද්දේදී මැටි ගුරුලේත්තුවක්

MAS සමූහයට අයත් මෙරට සුප්‍රසිද්ධ ඇගලුම් ආයතනයක් වන MAS Intimates (PVT) Ltd හි සේවකයන් සඳහා ලබන 2021 නව අවුරුදු උදාව වෙනුවෙන් ලබා දෙන ත්‍යාගය ලෙස මැටි ගුරුලේත්තුවක් ලබාදීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි පවසයි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදුව තිබේ. ඒ අනුව මේ වනවිට MAS Intimates (PVT) Ltd සතුව සේවකයන් 36,000ක් පමණ සිටින බවත්, ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය ගුරුලේත්තු මේ වනවිට සකසා අවසන් බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

“MAS Intimates (PVT) Ltd ආයතනය සෑම වර්ෂයකම තම සාමාජික සාමාජිකාවන් සදහා අවුරුදු තිළිණයක් ලබාදෙන අතර, ඒවා බොහොමයක් ආනයනික නිෂ්පාදනයන්ය. මේ බව මා දැනගත් පසු එම ආයතනයේ පාලන අධිකාරි‌යෙන් කළ ඉල්ලීමකට අනුව, මෙවර එහි සාමාජිකයන් 36,000 ක් සදහා ගුරුලේත්තුවක් ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ. එම තිළිණය 2021 ජනවාරි 01 වැනි දින සාමාජිකයන්ට ලබාදීම සදහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත.” යනුවෙන් ඔහු පවසා සිටියි.

ඒ අනුව මේ සඳහා වන  එකඟතාවක් එම සමාගම සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අතර පසුගියදා අත්සන් තබා තිබේ. එහිදී MAS Intimates (PVT) Ltd වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි රජීව් ධර්මේන්ද්‍ර මහතා සහ අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් එම්.ඒ.බී විජිත බණ්ඩාර යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙහිදී සිය අමාත්‍යාංශයට අයත් මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් එම නිෂ්පාදන මිලදී ගැනීමට සැලසුම් කර තිබේ. එමගින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැකි බව අමාත්‍යවරයා පවසයි.

එසේම එම මුදල් මේ රටේ කර්මාන්තකරුවන් අතර බෙදීයෑමත්, පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයන් පරිභෝජනයට ජනතාව උනන්දු කිරීමට හැකියාව ලැබීමත් වත්මන් රජයේ අපේක්ෂාවන් ද ඉටුකරන්නක් වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 154