ලාෆ්ස් සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාව වසරක් ඇතුළත මෙහෙයුම් අරඹනවාලු

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම මගින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටුවීමට කටයුතු යොදා ඇති සේලයින් (Intravenous (IV) solution (saline)) නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිරි මාස 10ත් 12ත් අතර කාලයේදී සිය කටයුතු ආරම්භ කරනු ඇතැයි එම සමාගම සඳහන් කරයි. මේ සඳහා ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම සිදු කර ඇති ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 2.5 කි.

මේ සම්බන්ධයෙන් පසුගියදා ඩේලිමිරර් පුවත්පත වෙත අදහස් දක්වා ඇති ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබැද්දගේ මහතා, “ඉදිරි මාස 10 ඇතුළතදී අපගේ මේ සේලයින් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී රටෙහි සමස්ත සේලයින් අවශ්‍යතාව සැපිරීමට අපට හැකියාව පවතිනවා. ඒ වගේම ඉදිරි වසර 10ක කාලය සඳහා වන එම අවශ්‍යතාව සැපිරීමටත් අපට හැකියි.” යනුවෙන් පවසා සිටියි.

ලාෆ්ස් සමාගම සඳහන් කරන ආකාරයට 2014 වසරේ දී රජය සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව මෙම සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකිරීම් අරඹා තිබේ. එහිදී කොග්ගල අපනයන සැකසුම් කලාපයේ අක්කර 4ක භූමියක් මේ සඳහා ලබා දී ඇත.

ලාෆ්ස් සමාගමේ උපපාලිත සමාගමක් වන ලාෆ්ස් ලයිෆ් සයන්සස්  (Laugfs Life Sciences) හරහා මෙම ව්‍යාපෘතිය දියත් කරයි. එසේම පසුගිය වසරේදී එම සමාගමේ නිෂ්පාදන රජය මගින්  මිලදී ගැනීම සඳහා වන එකඟතාවකටද පිවිස ඇතැයි පැවසෙයි.

මේ අතර කර්මාන්තශාලාව හරහා සිදු කරන නිෂ්පාදන හඳුනාගත් විදෙස් වෙළෙඳ පොළ වෙත අපනයනය කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් කුඩාබාලගේ මහතා සඳහන් කර තිබේ.

“විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු කලාපය වෙත මේ නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. ඒ පිළිබඳව දැන් අධ්‍යයනය කරමින් තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මූලිකවම සේලයින් සහ ඩෙක්ට්‍රෝස් ලෙස ශ්‍රී ලංකාව මෙම Intravenous (IV) solution (saline) ආනයනය කිරීම සිදු කරයි. එහිදී යම් විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන අතර, එම නිෂ්පාදන මෙරට තුළදීම සිදු කිරීම හරහා එම මුදල් ඉතිරි කරගැනීම අරමුණ වී ඇත. වාර්ෂිකව රජයේ රෝහල් ඇතුළු ආයතන වෙත අවශ්‍ය වන මිලිලීටර් 500 සේලයින් බෝතල් ප්‍රමාණය මිලියන 12ක් බව ගණන් බලා තිබේ.

Visits: 701