ලංකා වානිජ මණ්ඩලයෙන් ස්ටාර්ට්අප් සඳහා කවුන්සිලයක්

ලංකා වාණිජ මණ්ඩලය එහි ව්‍යවසායකත්ව පරිසරයක් සඳහා වන ජාතික න්‍යායපත්‍ර කමිටුවේ උපදෙස් අනුව ‘ස්ටාර්ට්අප් ව්‍යාපාර සඳහා වන ලංකා වාණිජ මණ්ඩල කවුන්සිලයක්’ පිහිටුවීම සඳහා කටයුතු යොදා ඇතැයි පවසයි.  එහි සාමාජිකයන්ගේ පළමු හමුව පසුගියදා ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා වාණිජ මණ්ඩලය “ව්‍යවසායකත්වය තිරසාර ආර්ථික සංවර්ධනය මෙන්ම සෞභාග්‍ය ගොඩනැගීම සඳහාද වඩාත් වැදගත් භූමිකාවක් ඉටු කරනවා. මේ ව්‍යවසායකත්වය පොහොසතුන් නිර්මාණය කරනවා, නව රැකියා බිහි කරනවා, ජීවිතවල තත්ත්වය තවදුරටත් උසස් කරනවා. එතැනදී මෙවැනි පරිසරයක් බිහි කිරිම සඳහා වන දායකත්වය සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සතුව වගකීමක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කරයි.

සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ ව්‍යවසායකයන්, ව්‍යාපාරික නවෝත්පාදකයන්, ආයෝජකයන්, මූල්‍ය සම්පාදකයන් ඇතුළු බොහෝ පිරිසක් සිටියි. ඒ අනුව මෙම කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ආයෝජකයන් නියෝජනය කරමින් BoV Capital සමාගමේ කළමනාකාර හවුල්කරු ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා පත් කර ඇත.

අනෙකුත් සාමාජිකයන් ලෙස හෙමින්ද ජයවීර (SLINTEC ප්‍රධාන විධායක නිලධාරී), ඉමාල් කලුතොටගේ (nCinga ප්‍රධාන විධායක නිලධාරී), අචලා සමරදිවාකර (ගුඩ් මාර්කට් සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ), ෂාලින් බාලසූරිය (ස්පා සිලෝන් සම නිර්මාතෘ) යන පිරිස ව්‍යවසායකයන් නියෝජනය කරයි. එසේම රන්දුලා ද සිල්වා (Hatch ප්‍රධාන විධායක නිලධාරී/ගුඩ්ලයිෆ් ඇක්සලරේටර් අධ්‍යක්ෂ) ව්‍යාපාරික නවෝත්පාදකයන් නියෝජනය කරයි. එසේම චන්දුලා අබේවික්‍රම  (නිර්මාතෘ සහ සභාපති – ලංකා ඉම්පැක්ට්-ඉන්වෙස්ට්මන්ට් නෙට්වර්ක්) ද මෙම කවුන්සිලයේ සාමාජිකයෙකි.

මෙම නව කවුන්සිලය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා වානිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයන් සඳහා වන මධ්‍යස්ථානය සහ එම මණ්ඩලයේ ආර්ථික බුද්ධි ඒකකය සමීප සහයෝගිතාවයෙන් කටයුතු කරන බවත් පවසයි.

එහිදී එම කවුන්සිලයේ සාමාජිකයන් වෙත අවශ්‍ය ව්‍යාපාර උපදේශන පහසුකම් සහ සිය තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන වෘත්තීය ව්‍යාපාර සංවර්ධන සේවා ඇතුළුව නව ස්ටාර්ට්අප් ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිහිකිරීමේදී පවතින රෙගුලාසිමය බාධා සඳහා සහයෝගිතාව දැක්වීමත් යනාදී කාරණා සඳහා දායකත්වය ලබා දීම මෙම කවුන්සිලයේ අරමුණු අතර පවතී.

Visits: 74