කොළඹ කොටස් හුවමාරුවට එන්නේ ඩොලර් පුවරුව හඳුන්වා දෙන්නේ නම් පමණයි – 99x සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරි මනෝ සේකරම්

මෙරට මුල් පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් බවට පත් වන්නේ කොටස්  හුවමාරුව සඳහා ඩොලර් පුවරුව හඳුන්වා දෙන්නේ නම් පමණක් බව එම සමාගමේ සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා පවසයි.

සිය නවතම සමාගම් සන්නාමය දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන විධායක නිලධාරියා මේ කරුණු සඳහන් කර තිබේ. මීට පෙර 99x Technologies ලෙස හැඳින්වුණු සමාගම මෙම නව සන්නාම හඳුන්වාදීමත් සමග 99x බවට පත්ව තිබේ.

මෙහිදී නව සන්නාමය අංක 1 සහ 0 ඇතුළත් ද්විමය කේතයන් අනුව සකස් කර තිබෙන බවත් එම සමාගම පවසයි. මෙම නව සන්නාමය දියත් කිරීමත් සමගම සමාගමේ නව වර්ධනයක් වෙත පිවිසීමක් වෙතද ඔවුන් අපේක්ෂා කර සිටියි.

“99x හි අලුත් පරිච්ඡේදයක් වෙත මෙලෙස පියනගන අවස්ථාවේදී අපි අපගේ ගනුදෙනුකරුවන් වෙත බලපෑම් සහගත ඩිජිටල් නිෂ්පාදන ලබා දෙමින් තවදුරටත් අපගේ ගෝලීය ව්‍යාප්තිය වර්ධනය කරගන්නට කටයුතු කරනවා.” යනුවෙන් ඔහු මෙහිදී පවසා තිබේ.

මෙරට තාක්ෂණික සමාගම් වෙත කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතවීම සඳහා එහි නියාමයකයන් විසින් සිදු කරමින් පවතින ආරාධනා සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දී ඇති මනෝ සේකරම් මහතා තමන්ගේ කොන්දේසි සපුරන්නේ නම් සමාගම දේශීයව ලැයිස්තුගත කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු චකිතයක් නොමැති බවත් පවසා තිබේ.

“අපි කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ අපේ සමාගම ලැයිස්තුගත කිරීමට පැමිණෙන්නේ එහි ඩොලර් පුවරුවක් ස්ථාපිත කරන්නේ නම් පමණයි.” යනුවෙන් මනෝ සේකරම් මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව එම කොන්දේසි සැපිරිමට අපොහොසත් වන්නේ නම් මෙරට කොටස් හුවමාරුවට වඩා විදේශ කොටස් හුවමාරුවක සිය සමාගම ලැයිස්තුගත කිරීමට අවධානය යොමු කරවන බවත් හෙතෙම මෙහිදී සඳහන් කර තිබේ.

මෙරට කොටස් හුවමාරුව වෙත විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින්, ඒ වෙත ඩොලර් නාමකරණය සහිත පුවරුවක් හඳුන්වාදීමේ තීරණයකට පිවිසෙන බව කොළඹ කොටස් හුවමාරුව 2018 වසරේදී පළමුවරට තීරණයක් ගෙන ඇත. මේ හරහා මුදල් ඒකක දෙකක් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව පවතී. එහෙත් එම කටයුතු මෙතෙක් සිදුව නොමැත.

Visits: 1260