කොළඹ කොටස් හුවමාරුවේ දරුණු පසු බැසීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ඇතුළුව රට තුළ නැවත වටයකට මතුව තිබෙන නව කොරෝනා වසංගත ව්‍යාප්තියේ තර්ජනයත් සමගින්ම අද (ඔක්තෝබර් 05) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව දරුණු කඩා වැටීමකට ලක් වුණු බව වාර්තා පවසයි.

ඒ අනුව පෙරවරු 11.00ට ආරම්භ වූ දෛනික ගනුදෙනු විනාඩි  09ක් තුළදී අත්හිටුවීමට සිදු විය. එහිදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය -5.00% කට වඩා අඩු අගයකට පත්වීම ඊට හේතු විය. එවැනි අවස්ථාවකදී ස්වයංක්‍රීයව සිදුවන පරිපථ ඛණ්ඩනය නිසා මෙම ගනුදෙනු අත්හිටුවීම සිදු විය.

ඒ අනුව විනාඩි 30 ක විරාමයකින් පසුව නැවතත් පෙරවරු 11.37ට යළිත් ගනුදෙනු ආරම්භ විය. එහෙත් එම අවස්ථාවේදීද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය -7.5% කට වඩා පහත වැටීමත් සමගින්ම දෙවැනි වරට ක්‍රියාත්මක වූ ස්වයංක්‍රීය පරිපථ ඛණ්ඩනය හේතුවෙන් යළිත්  වටයකට විනාඩි 30 කට ගනුදෙනු අත්හිටුවීම සිදු විය.

අනතුරුව පස්වරු 12.13ට යළිත් ගනුදෙනු ආරම්භ කළ අතර 12.45 වන විට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය -4.23% ක් මට්ටමේ පැවතුණි. ඒ අනුව දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වූ අතර එම දර්ශකය ඒකක 2,350.54ක් ලෙස සටහන් විය. එහිදී එම අගය පසුගිය සිකුරාදා (02) දාට සාපේක්ෂව ඒකක 103.89 ක අඩුවීමකි.

මේ අතර සමස්ත කොටස් මිල දර්ශකයත් පස්වරු 12.45 වන විට -5.53% ක අගයකට පහත වැටී තිබුණි. එහිදී එම දර්ශකය ඒකක 5,715.49ක් ලෙස සටහන්ව තිබූ අතර එය පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව -334.68ක කඩා වැටීමක් පෙන්නුම් කර තිබේ.

එසේම පස්වරු 12.45 වන විට කොටස් 152,262,256 ක ප්‍රමාණයක් ගනුදෙනු වී තිබූ අතර රුපියල් බිලියන 1.9 ක (1,926,309,803.10ක) පිරිවැටුමක් වාර්තා කර තිබුණි.

අද පවස්වරු 2.30ට කොළඹ කොටස් හුවමාරුවේ දෛනික ගනුදෙනු  අවසන් වීමට නියමිතව ඇත.

Visits: 185