BOC සභාපති කාංචන රත්වත්තේ MBSL සභාපති ධුරයට

ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL  – Merchant Bank of Sri Lanka and Finance PLC) හි නව සභාපතිවරයා ලෙස එම බැංකුවේ සභාපති ජ්‍යෙෂ්ට නීතීඥ කාංචන රත්වත්තේ මහතා පත් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ  මණ්ඩල හමුවේදී ගත් තීරණයකට අනුව මෙම නව පත් කිරීම සිදුව තිබේ. ඒ අනුව එදින සිට බලපැවැත්වෙන පරිදි මෙම නව පත් කිරීම සිදුව ඇත.

මෙම පත්වීම සිදු කෙරෙන දිනය වනවිට රත්වත්තේ මහතා සතුව  මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි කිසිදු කොටස් හිමිකමක් නොමැති බවත් එම සමාගම සඳහන් කරයි. එසේම ඔහු ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සම්බන්ධ කර ගෙන තිබේ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නීතීඥ කාංචන රත්වත්තේ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතීඥ උපාධිය හිමි කර‍ගෙන තිබේ. 

ලංකා බැංකුවේ සභාපතිවරයා බවට පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද විය. 

මීට අමතරව රාජ්‍ය ආයතනවල වානිජ සහ පරිපාලන අංශයේ අත්දැකීම් රැසක් ඇති රත්වත්තේ මහතා, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග නිර්මාණ, රක්ෂණ සහ සුරැකුම් යන ක්ෂේත්‍රවලින් පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනයකර තිබේ.

ලංකා බැංකුවට අනුබද්ධිත විශේෂිත කළමනාකරණ උපදේශන ඒකකයක් ලෙස 1980 වසරේදී මෙම සමාගම පිහිටුවා තිබේ. පසුව 1982 වසරේදී එය වෙළෙඳ බැංකුවක් ලෙස MBSL  ලෙස සීමාසහිත සමාගමක් ලෙස පිහිටුවීම සිදුවිය.

එසේම 1989 වසරේදී එම සමාගම සිය පළමු උපපාලිත සමාගම ලෙස ලංකා සෙකියුරිටීස් (පෞද්) සමාගම පිහිටවූ අතර, එය ලංකාවේ පළමු කොටස් තැරැව්කාර සමාගමද වූ බව පැවසෙයි. එසේම 1991 වසරේදී MBSL සමාගම Merchant Bank of Sri Lanka PLC ලෙස කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්ගුත වී තිබේ.

2009 වසරේදී MBSL ඉතිරි කිරීමේ බැංකුව සහ MBSL රක්ෂණ සමාගම අත්පත් කර ගත්තේය. පසුව එම වසරේදීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකරණ නියෝජිතයා ලෙසද MBSL පත් කෙරිණි.

2014 වසරේදී එහි නම Merchant Bank of Sri Lanka & Finance PLC ලෙස වෙනස් කෙරිණි. 2015 වසරේදී එය MBSL බැංකුව, MCSL ෆිනෑන්ස් සර්විස් ලිමිටඩ් සහ MBSL ඉතිරි කිරීමේ බැංකුව යන සමාගම්හි මෙහෙයුම් එකතු කරමින් ලියාපදිංචි මූල්‍ය සමාගමක් බවට පත්විය.

මෙතෙක් කළක් Merchant Bank of Sri Lanka & Finance PLC හි තාවකාලික සභාපතිවරයා ලෙස  එම්. අනුර පෙරේරා මහතා කටයුතු කළේය. මෙම නව පත් කිරීමත් සමගින්ම ඒ මහතා ‘ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂ’ ධුරයට උසස් කෙරෙන බවත් එම සමාගම සඳහන් කරයි.

Visits: 920