ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවයි

2020 ඔක්තෝබර් දෙවැනි දිනට කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරයක් නියමිත කූපන ගෙවීම් ද සහිතව රජය වෙනුවෙන් සාර්ථකව පියවීම නිම කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම පියවීම මගින් විදේශීය වගකීම් නිසි ලෙස පියවීම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කෙරෙන බව මහ බැංකුව සඳහන් කරයි. එමගින් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ණය සේවාකරණය පිළිබඳව ඇති නොකැළැල් වාර්තාව එලෙසම පවත්වාගනෙ යාමට මෙරට රජයට ඇති හැකියාව සහ කැමැත්ත සම්බන්ධයෙන් විදේශ ආයෝජකයන්ට පැවතිය හැකි ගැටලු දුරලීමත් සිදු වන බව මහ බැංකුව සඳහන් කරයි.

“ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑත කාලීන ධනාත්මක වර්ධනයට සහ මෙම බැඳුම්කර පියවීමට මෙරට විදේශ විනිමය වෙළෙඳ පොළ දැනටමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ පූර්ව ක්‍රියාමාර්ගවල සහාය ඇතිව මෙරට විදේශ විනිමය වෙළෙඳ පොළ වෙත ලැබෙතැයි අපේක්ෂිත ගලා ඒම් සමග ඉදිරි කාලය තුලදී වෙළෙඳ පොළ විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.* යනුවෙන්ද මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

මේ අතර පසුගියදා මූඩී’ස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය B3 සිට Caa1 දක්වා පහත හෙළීම සඳහාද ඔක්තෝබර් මාසය මුදලදී සිදු කිරීමට නියමිතව තිබූ ස්වෛරීත්ව බැඳුම්කර පියවීමද හේතුවක් වී තිබුණි.

Visits: 100