කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘතියට හිමි සම්මානයක් දිනා ගනී

ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR)  මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් වූ බව කොළඹ වරාය නගරය පවසයි.

මෙහිදී ලොකයේ මහාද්වීප 6 ක රටවල් 21 ක් නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ව්‍යාපෘති 30 අභිබවමින් ප්‍රමුඛම ස්ථානය දිනාගැනීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමත් වීම කැපී පෙනෙයි. මෙයට අමතරව නේවාසික/ආගන්තුක සත්කාර, මාර්ග/අධිවේගී මාර්ග, බලශක්ති/කාර්මික යනාදිය ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන්ද ඇගයීම් තක්සේරු කාර්යයකට ලක් වී තිබේ.

පවත්නා තත්ත්වය හමුවේ මෙම වසරේ සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වීය. මෑතකාලීනව ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය ව්‍යාපෘතියක් ලබාගත් ඉහළම ගෝලීය ඇගයීම මෙය වෙයි. එසේම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ආරම්භ කොට වසර 6 ක් සම්පූර්ණවීමේ සංවත්සරය යෙදී තිබූ දිනයේදීම විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘතිය ලෙස සම්මානයට පාත්‍රවීම සුවිශේෂී අවස්ථාවක් වූ බවද කොළඹ වරාය නගරය සඳහන් කර සිටියි.

මෙම සම්මාන ප්‍රදානය හරහා ගෝලීය හොඳම ව්‍යාපෘති හඳුනා ගැනීම සහ පසුගිය වසර තුළ සැලසුම් සහ ඉදිකිරීම් කාර්යයන් පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීම් කාර්යයට ලක් කරනා අතර, අදාළ ව්‍යාපෘතියේ අවම වශයෙන් එක් සමාගමක් වත් එහි මව් සමාගමෙන් පිටත රටක් නියෝජනය විය යුතුය යන්න එහි එක් රීතියකි.

ඒ අනුව කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන සී/ස චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් එහි පළමු අදියර මෙම තරඟයට ඉදිරිපත් කර තිබුණි. මෙම තරගය සංවිධාන කල Engineering News-Record (ENR) සඟරාව ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන අතර තරඟය ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන වල නියෝජිත විනිශ්චය මණ්ඩලයකගේ ස්වාධීන අධීක්ෂණයට ලක් වී තිබේ.

Visits: 252