මූඩී’ස් වර්ගීකරණයේ ඍණාත්මක බලපෑම දේශීය ආයෝජකයන් මඟහරවයි

ජාත්‍යන්තර වර්ගීකරණ සහ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය තවදුරටත් පහත හෙළීමට තීරණය කිරීමත් සමගින්ම කොළඹ කොටස් හුවමාරුව තුළ ආයෝජකයන් අතර කැලඹිලි සහගත තත්ත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව තිළ තිබූ විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් පිටතට ගලායෑමක් සිදුව තිබේ.

කෙසේ වෙතත් ශක්තිමත් දේශීය ආයෝජකයන් සහ තනි පුද්ගල ආයෝජකයන්ගේ මැදිහත්වීම හරහා දරුණු ලෙස කඩා වැටීමේ අවදානමක් පැවැති සමස්ත කොටස් මිල දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව යම් තරමකින් ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබුණු බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

මේ තත්ත්වයත් සමගින්ම අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා මිල දර්ශකයද ඊයේ දිනයට සාපේක්ෂව ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,936.85 ත් ඒකක 6,031.63 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,993.55ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 28) දිනයට සාපේක්ෂව එය ඒකක 34.65 ක් එනම් -0.57%ක පසුබැසීමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 22%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 74ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 111ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීCLC (-5.87),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.31), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.91), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.1), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+1.38), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-16.4), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-6.45),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.55), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.73)  සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-2.33) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,476.11 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 28) දිනයට සාපේක්ෂව ඒකක 19.61 ක එනම් 0.79%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.15ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 1.89 ට සාපේක්ෂව 66%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.60 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.83%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 56.56ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.18කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 39.79ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝලඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 17.14කි. එසේම හැටන් නැෂනල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.18ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.56ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 50% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 322ක සහ රුපියල් මිලියන 265ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 369