PATA සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් වෙත රන් සම්මානයක්

පසුගියදා පැවැත්වුණු PATA Travel Mart 2020 සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම පෑන් ඉන්දියා අලෙවිකරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කළ Next Door Neighbor සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපාරයට ‘අලෙවිකරණ වාහකයා’ (‘Marketing Carrier’) යන අංශය යටතේ රන් සම්මානය හිමි වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව මෙවර PATA Travel Mart 2020  සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කළ ජයග්‍රාහකයින් 20 දෙනා අතරට ජාතික ගුවන් සේවය ඇතුළත් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා, “PATA වෙතින් මෙම ගෞරවනීය සම්මානය ලැබීම, පවත්නා තත්ත්වයන් යටතේ, ඉදිරි අභියෝගාත්මක කාලයන්ට මුහුණ දීමට හැකියාවක් ඇති බවට අපට ලබා දුන් බලාපොරොත්තුවක්.” යනුවෙන් පවසා සිටියි.

මෙලෙස ‘Marketing Carrier’ කාණ්ඩය යට‍තේ රන් සම්මානය දිනා ගත් Next door neighbors’ දැන්වීම ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් ඉලක්ක කර ගත් නිර්මාණයකි. සිත් ඇදගන්නාසුළු, සන්සුන් ගමනක් සඳහා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ගමනාන්තයක් බව එමගින් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඉන්දියාව යනු ගුවන් සේවයේ තනි විශාලතම වෙළඳපොල වන අතර පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු ඉන්දියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 80 කින් පමණ විශාල ලෙස අඩු විය. එබැවින් ඔවුන් තුළ ශ්‍රී ලංකාවේ ආකර්ෂණය රඳවා ගැනීම සඳහා ඵලදායී අලෙවිකරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය  වූ බවද සමාගම පවසයි.

මීට පෙර අවස්ථා දෙකකදී එනම් 2007 සහ 2019 වර්ෂ වල දී රන් සම්මාන ලබා ගනිමින් ජාතික ගුවන් සේවය PATA හි සිය සලකුණ තබා ඇති අතර මෙය තුන්වන අවස්ථාව බවට පත්ව තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී සමින්ද පෙරේරා මහතා අදහස් දක්වමින්. “PATA Travel Mart 2020 හිදී මෙම කීර්තිමත් රන් සම්මානය ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙය අතිශයින්ම අපේ කණ්ඩායමේ උත්සාහයක ප්‍රතිඵලයක්. මෙම නිර්මාණවල කොටස්කරුවන් වූ කීර්තිමත් පුද්ගලයින්ට, අපගේ උත්සාහයන්ට සහය දුන් කළමනාකාරිත්වයට, මගේ කණ්ඩායමට සහ අපගේ නිර්මාණාත්මක ආයතන වන ජේ. වෝල්ටර් තොම්සන් සහ ලියෝ බර්නෙට්, ආයතන වලට ස්තූතිය පුද කිරීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔවුන් සියලුම දෙනාගේ සහය නොමැතිව මෙය කිසි විටෙකත් කළ නොහැකියි.” යනුවෙන් සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සන්නාම වීඩියෝ වන ‘Serendipity Next Door’ සහ ‘Ode to Paradise’සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය විය.

‘Ode to Paradise’ යනු ලෝක ප්‍රකට ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයින්ගේ දෑස් තුළින් ශ්‍රී ලංකාවේ  සුන්දරත්වයවිදහා දක්වන  ගීතයක් වන අතර එය ගුවන් සේවයේ  ‘බ්ලූ වෝටර්ස්’ ගීතයේ නව පුනර්ජීවනයක් බව සමාගම පවසයි.

‘Serendipity Next Door’ යනු ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනා ගැනීම සඳහා වි‍ශේෂයෙන් නිර්මාණය කරන ලද Ode to Paradise’ හි දිගුවකි.මෙම වීඩියෝ දෙක ෆේස්බුක් හි මිලියන 73 ක දර්ශනයක් සහ යූටියුබ් හි මිලියන 2.2 ක දර්ශන ප්‍රමාණයක් වාර්තා කළ අතර, දෙවැන්න පැය 11 ක් තුළ දස ලක්ෂයක් සහ දින දෙකකින් මිලියන පහක් පසු කළ පළමු ශ්‍රී ලංකාවේ සන්නාම වීඩියෝව බවට ද පත්විය.

Visits: 44