‘සිලෝන් තේ’ කහට තැවරූ මුහුණු ආවරණයක් ජාත්‍යන්තරයට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් පළමුවරට ‘සිලෝන් තේ’ කහට තැවරූ මුහුණු ආවරණයක් හඳුන්වාදී ඇතැයි පවසයි. නව කොරෝනා වසංගය හමුවේ ලොව සෑම රටකදීම පාහේ පැළැදීම අනිවාර්යය කෙරී ඇති මුඛ ආවරණ හරහා Ceylon Tea සන්නාමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව මණ්ඩලය පවසයි.

ඒ අනුව ලොව පුරා වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ප්‍රදානයක් ලෙස මෙම මුහුණු ආවරණ බෙදා හැරීම සඳහා තේ මණ්ඩලය කටයුතු යොදා ඇත. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන් ලොව පුරා රටවල් 75ක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල හරහා මෙම ‘සිලෝන් තේ’ කහට තැවරූ මුහුණු ආවරණ බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව මෙම මුහුණු ආවරණවල පළමු තොගය ඊයේ දිනයේදී තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා අතින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොළඹගේ මහතා වෙත භාර දී ඇත.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂිකා පවිත්‍රි පීරිස් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී ගයාන් සමරවීර යන මහත්ම මහත්මීන්ද සම්බන්ධ වී තිබේ.

‘ Ceylon Tea’ සන්නාමයද අදාළ මුහුණු ආවරණ තුළ සටහන් කෙරී ඇත. මෙම මුහුණු ආවරණ සතු විශේෂත්වය වන්නේ ඒ සඳහා යොදා ගෙන ඇති සිලෝන් තේ කහටයි. අයිස් ටී නිෂ්පාදනයේදී අතුරු ඵලයක් ලෙස ඉතිරි වන කහට මේ සඳහා භාවිතා කර ඇත. අවස්ථා 30ක් පමණ සෝදා පිරිසිදු කර මෙම මුහුණු ආවරණය යළි යළිත් භාවිත කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව මෙම මුහුණු ආවරණය ස්වාභාවික ක්ෂුද්‍රජීවීනාශක, ජෛවහානයට ලක් වන, පරිසර හිතකාමී සහ විෂ ද්‍රව්‍යවලින් තොර නිෂ්පාදනයක් බවත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

මෙහිදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා මෙම මුහුණු ආවරණ බෙදා හැරීමේදී ඒවා තේ සංගම්, තේ ආපනශාලා, ජාත්‍යන්තර ප්‍රදර්ශන, බස් නැවතුම්, රජයේ සහ පෞද්ගලික ව්‍යාපාරික හවුල්කරුවන්, තේ බෙදාහරින්නන්, ලෝක මට්ටමේ සුපිරි වෙළෙඳ සැල් ජාල මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වැනි පොදු ස්ථාන වෙතද ලබාදීමට නියමිතව ඇත.

Visits: 249