විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත ආයෝජන සමාගම් දෙකක් නිසා වෙළෙඳ පොළ ධන වෙයි

අද දිනයේ (සැප්තැම්බර් 25) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු අතරේදී විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත ආයෝජන සමාගම් දෙකක කොටස් මිලෙහි දක්නට ලැබුණු ඉහළ යාමත් සමගින්ම මෙම සතියේ අවසන් දිනය වඩාත් සාර්ථක ලෙස දර්ශක අගයන් ධන බවට පත් කරමින් නිමා කරන්නට හැකි වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම බොහෝ ආයෝජකයන් තුළ වටිනාකම් අඩු කොටස් මිලදී ගැනීමේ තිබූ වැඩි කැමැත්තද දෛනික ගනුදෙනු සඳහා වැඩි දායකත්වයක් ලබා දී තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,811.81 ත් ඒකක 5,878.30 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,859.04ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 24) දිනයට සාපේක්ෂව එය ඒකක 47.84 ක් එනම් 0.82%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම් සිදු කළ ගනුදෙනු, දිනයේ සමස්ත පිරිවැටුමෙන් 25%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 83ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (+20.65),  බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+11.15), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.7), කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී COCR (+2.34), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+2.19), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.88), ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී AEL (-0.92),  ලංකා රියැලිට් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී ASCO (-0.88), ෂාලිමාර් (මැලේ) පීඑල්සී SHAL (-0.81)  සහ වැලිබල් වන් පීඑල්සී VONE (-0.75යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,482.08 ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ (සැප්තැම්බර් 25) දිනයට සාපේක්ෂව ඒකක 0.16 ක එනම් 0.01%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 2.85 ට සාපේක්ෂව 15%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.55 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.68%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 335.26ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 693.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 358කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 38.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 38.12කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 247.02ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 944ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 39% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 244ක සහ රුපියල් මිලියන 236ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 474