වීරවිල Double Tree by Hilton අගමැති අතින් විවෘත වෙයි

කේ.ඩී.යූ. ඇඩ්වෙන්චර්ස් (KDU adventures (Pvt) Ltd) සමාගම වීරවිල ප්‍රදේශයේ ඉදි කළ නවතම තරු පහේ හෝටලය වන “Double Tree” – වීරවිල රජවර්ණ රිසෝට් සංචාරකයන්ට විවෘත කිරීම ඊයේ දිනයේ සිදු විය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සැප්තැම්බර් 24 දින සිදු වූ මෙම විවෘත කිරීමෙන් අනතුරුව එහි කටයුතු සර්ව රාත්‍රික පිරිත් දේශනයකින් ආරම්භ වී තිබේ. 

මෙම හෝටල් සංකීර්ණය “Double Tree” සන්නාමය යටතේ හිල්ටන් සමූහයේ කළමනාකාරීත්වයෙන් මෙහෙයුම් සිදු කරයි.

වීරවිල වැව් ඉස්මත්තේ ඉදි කර ඇති මෙම හෝටල් සංකීර්ණය වර්ග අඩි 21,000ක භූමියක පැතිර තිබේ. සුඛෝපභෝගී අවන්හල් ත්‍රිත්වයකින් යුතු මෙම හෝටලය කාමර 88කින් සමන්විතය.

2017 වසරේදී හිලටන් සමාගම සහ කේ.ඩී.යූ. ඇඩ්වෙන්චර්ස් සමාගම අතර ඇති කරගත් එකඟතාවකට අනුව මෙම හෝටලය ඉදිකිරීම ඇරඹුණි. එහිදී හිල්ටන් සමූහය විසින් ක්‍රියාත්මක කරන ඩබල්  ට්‍රී සන්නාමයේ ශ්‍රී ලාංකික පිවිසුම බවටද මෙය පත්විය. අද වනවිට මෙම ඩබල්ට්‍රී බයි හිල්ටල් සන්නාමය යටතේ ලොව පුරා හෝටල් 237ක්  ක්‍රියාත්මක වෙයි.

වීරවිල කුරුළු පාරාදීසය හා මත්තල ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටා ඇති මෙම හෝටල් සංකීර්ණය යාල, බූන්දල, උඩවලව වැනි සංචාරක ආකර්ශනයක් දිනා ගත් අභය භූමි සඳහා ඉතා කෙටි කාලයක් තුළ ළඟා විය හැකි දෙස් විදෙස් සංචාරකයින්ගේ සුව පහසු නවාතැන් පොළක් වන බව පැවසෙයි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, KDU සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් උපසේන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව තිබේ.

Visits: 225