ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හිමිකරුගේ පුත් රුෂන්ක සිල්වා සම්පත් බැංකු උපසභාපති ධුරයට

සම්පත් බැංකුවේ නව උප සභාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි රුෂන්ක සිල්වා මහතා පත් කෙරී ඇතැයි එම බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි. ඊයේ (සැප් 24) දිනයේදී පැවැත්වුණු සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව මෙම නව පත් කිරීම සිදුව තිබේ.

රුෂන්ක සිල්වා මහතා මෙරට සුප්‍රසිද්ධ මෝටර් රථ අලෙවි සමාගමක් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ හිමිකරුවා වන ඉන්ද්‍රා කුමාර් සිල්වා මහතාගේ පුත්‍රයාය. ඒ අනුව ඔහු මේ වනවිට එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

ඉන්ද්‍රා කේ. සිල්වා මහතා සතුව සම්පත් බැංකුවේ 9.98%ක කොටස් ප්‍රතිශතයක් හිමිය. ඒ අනුව 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්බන්ධ වී තිබේ.

කෙසේ වෙතත් මෙම නව පත් කිරීම සිදුවන අවස්ථාව වනවිට රුෂන්ක සිල්වා මහතා සතුව සම්පත් බැංකුවේ කිසිදු කොටස් හිමිකමක් නොවන බවත් බැංකුව සඳහන් කරයි.

රුෂන්ක සිල්වා මහතා සම්පත් බැංකුවේ පරිපාලිත සමාගමක් වන සම්පත් සෙන්ටර් ලිමිටඩ් හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

මහනුවර ට්‍රිනිටි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රුෂන්ක සිල්වා මහතා CIMA හි වරලත් ගණකාධිකාරිවරයෙකු ලෙස සුදුසුකම් ලබා තිබේ. එසේම ඔස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උසස් උපාධියක්ද හිමි කරගෙන ඇත.

මීට අමතරව රුෂන්ක සිල්වා මහතා කොමර්ෂල් බැංකුවේ පරිපාලිත සමාගමක් වන සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් ලිමිටඩ්හි අධ්‍යක්ෂ මණ්ඩලයේද සාමාජිකයෙකුව සිටියි. එහිදීද ඉන්ද්‍රා කුමාර් සිල්වා මහතා සතු කොමර්ෂල් බැංකුවේ කොටස් අනුව එම පත් කිරීම සිදුව තිබුණු බව ආරංචි මාර්ග පවසයි.

Views: 1476