සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නව පනත සකසා අවසන්ලු

නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත සකස් කර අවසන් කර ඇතැයි එහි සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව මෙම නව පනත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට පෙර එය මුදල් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇතැයි ඔහු පවසයි.

අද දිනයේ පළ වූ ඩේලිඑෆ්ටී පුවත්පත සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ කරුණු සඳහන් කර තිබේ. මෙහිදී අදාළ නව පනත වසර ගණනාවක් පුරා සකස් කෙරුණක් බවත් එහිදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළුව ඊට සම්බන්ධ තවත් පාර්ශ්වයන් රැසකගේම අදහස් සහ උපදෙස් ලබා ගැනීම සිදු කළ බවත් සඳහන් වෙයි.

මෙහිදී පුවත්පත වෙත කරුණු දක්වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න  මහතා, “මෙම පනතේ අවසන් කටු සටහන අපි යම් වෙනස් කිරීමකට ලක් කළා. ඒ හරහා එහි වඩාත් ඉහළ පැහැදිලි බවක් සහ එහි තිබූ ඇතැම් ව්‍යාකූලගති ඉවත් කළා. සමස්තයක් විදියට ගත්තහම කොමිෂන් සභාවේ නියාමනයන් වඩාත් හොඳින් ආරක්ෂා කරගත හැකි නව නීතිකෙටුම්පතක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙය රටෙහි ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය වෙනුවෙන් පහසුකම් සපයාවි.” යනුවෙන් පුවත්පත වෙත පවසා ඇත.

ශ්‍රී ලංකාවේ පළමු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වන්නේ 1987 වසරේ අංක 36 වැනි පනත් කෙටුම්පතයි. මීට පෙර 1991,2003 සහ 2009 යන වසරවලදී එය සංශෝධනයට ලක් කෙරී ඇත. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඇතුළුව ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමකයා වන්නේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි.

ප්‍රාග්ධන වෙළෙඳ පොළ හවුල්කරුවන් බොහෝ පිරිසක් ආසන්න වසර කිහිපය පුරාම මෙම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත අලුත් විය යුතු බව සඳහන් කර තිබූ අතර, ඒ හරහා නියාමනය සහ වෙළෙඳපොළ සංවර්ධනය වර්තමාන යුගයේ ගම්‍යතාවන් සමගින් පවත්වාගෙන යාමට හැකි බව ඔවුන්ගේ අදහස වී තිබුණි.

සභාපතිවරයා පුවත්පත වෙත පවසා ඇති ආකාරයට ඊයේ දිනයේදී අදාළ අවසන්  පනත් කෙටුම්පත, ඊට අදාළ සඳහන් කිරීම්ද සමගින් මුදල් අමාත්‍යාංශයේ අවධානය සඳහා යොමු කර තිබේ. එහිදී එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිම සඳහා කටයුතු කෙරෙනු ඇති.

මෙම නව පනත යටතේ මූලිකවම කොටස් වෙළෙඳ පොළ තුළ අසාමූහිකරණය (demutualization) සඳහා වන කරුණු ඇතුළත්ව ඇතැයි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා සභාපතිවරයා, එම කොමිෂන් සභාව වෙත අලුතින් පත් වූ සාමාජිකයන් සෑම විටම ආයෝජක ආරක්ෂාව, අවදානම් ලිහිල් කිරීම මෙන්ම වෙළෙඳ පොළ සංවර්ධනය යන කාරණා සියල්ල සඳහාම ශක්තිමත් රෙගුලාසි සකස් කිරීමට කටයුතු යොදන බව පවසා තිබේ.

“ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියමිත රෙගුලාසිවලට අනුව ක්‍රියා කරනවා නම් කිසිවිටෙකත් නියාමකයන් සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඒ වගේම ඔවුන් ස්වයං-රෙගුලාසි පවත්වාගෙන යා යුතුයි.” සභාපතිවරයා පවසයි.

මේ අතර, සිය නියාමන කටයුතු තවදුරටත් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා නවතම තොරතුරු තාක්ෂණික පද්ධති, පුහුණු සහ කාරයක්ෂම මානව සම්පත් මෙන්ම අරමුදල් හරහා මෙම ප්‍රාග්ධන වෙළෙඳ පොළ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීම, ආවේක්ෂණය කිරීම යනාදිය පෙරටත් වඩා හොඳින් සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කර ඇත.

Visits: 201