ඉතාලි සමාගම් රැසක් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයට කැමැත්ත

ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත ආයෝජන කෙරෙහි ඉතාලියේ  සමාගම් රැසක් වැඩි උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි ජුලියානා මැනෙල්ලා මහත්මිය පවසයි. ඇය ඊයේ (14දා) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව සංචාරක ප්‍රවර්ධනය සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අගමැතිවරයා එහිදී තානාපතිනියගේ  අවධානය යොමු කරවූ බව අගමැති කාර්යාලය පවසයි.

එසේම ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ඇතුළු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අනාගත සහයෝගීතාව වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත් තානාපතිවරිය මෙහිදී පවසා ඇත..

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 දී පිහිටුවන ලදී. 2016 දී මිලාන්හි කොන්සල් ජනරාල්වරයකු පත් කිරීම ඔස්සේ මෙම සබඳතා තවත් වර්ධනය වූ බව පැවසෙයි.

Visits: 60