සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට CNBC වෙත ඩොලර් ලක්ෂයක දැන්වීම්

සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරික පුවත් රූපවාහිනි නාලිකාවක් වන CNBC තුළ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව දැන්වීම් පළ කිරීම සඳහා එකඟතාවකට පිවිසීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා පියවර ගත් බව පවසයි. මාස තුනක කාලයක් දක්වා ක්‍රියාත්මක මෙම එකඟතාවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් ලක්ෂයකි.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස  හානි සිදුව ඇති මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ යළි නගා සිටුවීම සඳහා වන දායකත්ව සංචරණ  ප්‍රවර්ධන වැඩසටහන් අවස්ථාවක් ලෙස නාලිකාව මෙම අවස්ථාව ලබා දී ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව සැප්තැම්බර් මාසය මැද සිට CNBC නාලිකාව හරහා ආසියාව, මැදපෙරදිග සහ යුරෝපා කලාපය වෙත ශ්‍රී ලංකා සංචරණය පිළිබඳ දැන්වීම් විකාශය කිරීමට නියමිතව ඇත.

මෙහිදී CNBC ආසියා පැසිපික් නාලිකාවේ උප සභාපතිනී එමා සිර්කා මහත්මිය වෙනුවෙන් මෙරට ලංකා මීඩියා සර්විසස් ලිමිටඩ් සමාගම මෙම එකඟතාවට පිවිස ඇතැයි සඳහන් වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය මෙම එකඟතාවට අත්සන් තබා තිබේ.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් CNBC නාලිකාව වෙනුවෙන් අදහස් දක්වා ඇති ලංකා මීඩියා සර්විසස් හි චන්දිම උඩබාගේ මහතා, මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත බොහෝ වාසි අත්වන බව පවසා ඇත. එහිදී CNBC නාලිකාව ලොව පුරා රටවල් 162කට විකාශය කෙරෙන බවත්, එම නාලිකාව ලොව පුරා නිවාස මිලියන 380කට වැඩි සංඛ්‍යාවකට සිය වැඩසටහන් බෙදාහරින බවත් පවසා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය, CNBC නාලිකාව මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු බවත්, එහි දායකත්වය හරහා ලංකාවේ සංචාරක කර්මාන්තය ගෝලීයව ප්‍රවර්ධනය සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි සඳහන් කර සිටියි.

Visits: 48