රාජ්‍ය ඇමති කබ්රාල් ‘ව්‍යවසාය සංවර්ධන උපදේශක සභාවක්’ පිහිටුවයි

සිය මූලිකත්වයෙන් “ව්‍යවසාය සංවර්ධන උපදේශක සභාවක්” (Enterprise Development Advisory Council) පත් කිරීමට කටයුතු කළ බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩු කබ්රාල් මහතා පවසයි.

දේශීය ව්‍යාපාරිකයන් සුරක්ෂිත කරමින් අන්තර්ජාතික වෙළෙඳපොළ සමග සම්බන්ධ කරවීමේ අරමුණෙන් ඔවුන් සවිබල ගැන්වීමට අදාළ උපදෙස් ලබා දීම සඳහා මෙම උපදේශක සභාව පත් කෙරුණු බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියි.

පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වී තිබේ. ඒ අනුව විසි දෙදෙනෙකුගෙන් සමන්විත මෙම උපදේශක සභාව සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් සහිත පාර්ශ්ව වෙත මේ සදහා ඇරැයුම් කර ඇතැයි අමාත්‍යවරයා  පවසයි. එහිදී ඔවුන් මෙම සේවය ලබාදෙන්නේ ස්වේච්ඡාවෙන් බවත් හෙතෙම සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්ම යටතේ බිම් මට්ටමේ සිට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සුරක්ෂිත කරවීම සඳහා ප්‍රායෝගිකව සහය දැක්වීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිය අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය කබ්රාල් සඳහන් කරයි.

Visits: 123