2020 අගෝස්තු මාසයේ අපනයන ආදායම 8.3%කින් පහළට

මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 947.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය 2019 අගෝස්තු මාසයේ වාර්තා වී තිබූ ඩොලර් මිලියන 1,033.3ක අපනයන ආදායම හා සාපේක්ෂව 8.3%ක පහළ බැසීමක් බවද එම මණ්ඩලය සඳහන් කරයි.

එහෙත් මෙලෙස සමස්ත අපනයන ආදායමේ යම් පහත වැටීමක් තිබුණද පොල් ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් මෙන්ම ආහාර හා පාන වර්ග යන අංශයන්හි අපනයන ආදායම 2019 අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසය තුළ පිළිවෙලින් 22.88%, 8.32%, 19.4% සහ 11.45%ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා, “වසරේ තවත් මාසයක් ඇ.ඩො.බිලියනයකට ආසන්න වූ අපනයන ප්‍රමාණයක් ළගා කර ගැනීම දැකීම සුවිශේෂී අවස්ථාවක්. එහෙත්, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අපගේ ප්‍රධාන වෙළෙඳ පොළවල් ආශ්‍රිතව COVID-19 වසංගතයේ බලපෑම අවබෝධ කර ගන්නා අතරතුර, ඉදිරි මාස පිළිබඳව අප විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම අද වන‍විට බරපතල ලෙස පහළ වැටී ඇති අපනයන නිෂ්පාදන සහ වෙළෙඳ පොළ විවිධාංගීකරණය කෙරෙහිද අප අවධානය යොමු කළ යුතුයි. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විශාලතම වෙළෙඳ පොළවල් බව අගය කරන අතරම, අප දැන් චීනය ඇතුළු ආසියාවේ සැලකිය යුතු අපනයන වෙළෙඳ පොළවල් වෙත යොමුවිය යුතුයි. මේ සම්බන්ධයෙන් චීන නිදහස් වෙළෙඳ ගිවිසුම නිසැකවම සහාය වනු ඇති. ශ්‍රී ලංකාව සඳහා ඇ.ඩො.බිලියන ගණනින් ඉපැයිය හැකි කර්මාන්ත ඇති කිරීමට හැකිවන පරිදි අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය එකවර සිදුවිය යුතුයි.” යනුවෙන් පවසා සිටියේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ

අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන ආකාරයට මේ වසරේ අගෝස්තුවේදී ඇඟලුම් හා රෙදිපිළි අපනයන ආදායම ඇ.ඩො.මිලියන 438.34කි. එය 2019 අගෝස්තු මාසයේ වාර්තා වූ ඇ.ඩො.498.03ට සාපේක්ෂව 11.99%ක ආදායම් අඩුවීමකි. එසේම මේ වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී එම අපනයන ආදායම 6.15%ක අඩුවීමක් වාර්තා කර තිබේ. ඒ අනුව මෙම අංශයේ පහත වැටීමක් තිබුණද, පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව, මේ වසරේ අගෝස්තු මාසයේදී නිමි රෙදිපිළි අපනයන ආදායම්වල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

මීට අමතරව, රබර් සහ රබර් නිමි භාණ්ඩ අපනයන ආදායමද 2020 අගෝස්තු මාසයේදී ඇ.ඩො.මිලියන 72.53ක් දක්වා 2.71%කින් අඩු වී තිබේ. කෙසේ වෙතත්, කාර්මික හා ශල්‍ය අත්වැසුම් රබර් අපනයනය 2020 අගෝස්තු මාසයේදී ඇ.ඩො.මිලියන 23.07ක් දක්වා 36.19%කින් ඉහළ ගොස් ඇත.

වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 12%ක් වන තේ අපනයන ආදායම 2020 අගෝස්තු මාසයේදී ඇ.ඩො.මිලියන 102.97ක් ක් දක්වා 13.27%කින් අඩුවී ඇති අතර, 2019 අගෝස්තු මාසයට සාපේක්ෂව 2020 අගෝස්තු මාසයේදී අපනයන පරිමාවද 16.01%කින් පහත වැටී ඇත. ඉරානයෙන් සහ ඉරාකයෙන් තේ සඳහා ඉල්ලුම පහත වැටීම මේ සඳහා හේතු වී තිබේ.

මේ අතර 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇ.ඩො.මිලියන 6,400.21ක් වූ අතර, එය පසුගිය වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ ඇ.ඩො.මිලියන 7,921.16 හා සසඳන විට 19.2%ක අඩුවීමකි. කෙසේ වෙතත් 2020 ජනවාරි සිට ජූලි දක්වා වාර්තා වූ 21.08%ක අඩුවීම හා සැසඳීමේදී මෙය වැඩිදියුණු කළ කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත.

ඇඟලුම් සහ රෙදිපිළි (ඇ.ඩො.මිලියන 2,842.04), තේ (ඇ.ඩො.මිලියන 805.57) සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන (ඇ.ඩො.මිලියන 421.70) සහ රබර් සහ රබර් පදනම් කරගත් නිෂ්පාදන (ඇ.ඩො.මිලියන 506.75) වැනි ප්‍රධාන අපනයන 2020 ජනවාරි සිට අගොස්තු දක්වා කාලය තුළ පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව පිළිවෙළින් 23.69%ක්, 11.96%ක්, 0.43%ක් සහ 16.91%ක් ලෙස පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ඛනිජ තෙල් නිෂ්පාදන, ආහාර හා පාන වර්ග, රසායනික හා ප්ලාස්ටික් නිෂ්පාදන සහ වෙනත් අපනයන භෝග මෙම කාල සීමාව තුළ ධනාත්මක වර්ධන වේගයක් වාර්තා කර ඇත.

මේ අතර, PPE හෙවත් පුද්ගලික ආරක්ෂණ උපකරණ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ආදායම 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඇ.ඩො.මිලියන 541.94ක් දක්වා 38.32%කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූයේ ඇ.ඩො.මිලියන 391.79ක් ලෙසින් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එසේම 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා සිදු කළ අපනයනය හරහා වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එය ඩොලර් මිලි යන 1,652.17කි. එක්සත් රාජධානියෙන් මිලියන 552.46ක්ද, ඉන්දියාවෙන් මිලියන 396,96ක්ද උපයාගෙන ඇත. එසේම ජර්මනිය සහ ඉතාලියෙන් උපයාගෙන ඇති අපනයන ආදායම පිළිවෙලින් ඩොලර්  මිලියන 371.05ක් සහ ඩොලර් මිලියන 280.51ක් වෙයි.

Visits: 294