මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සතු කොටස් හිමිකාරීත්වයේ සීමාව වෙනස් කළේ මෙහෙමයි

මෙරට බලපත්‍ර ලාභී බැංකු සහ බලපත්‍ර ලාභී විශේෂිත බැංකු තුළ දැරිය හැකි උපරිම කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය සම්බන්ධයෙන් සංශෝධන සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා කටයුතු යොදා තිබේ. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව ‘බැංකු පනතේ විධිවිධාන’ ලෙස පසුගිය සැප්තැම්බර් 08 වැනිදා නිකුත් වුණු චක්‍රලේඛයක්  හරහා මේ කරුණු අනාවරණය වී තිබේ.

1988 අංක 30 දරන  බැංකු  පනතේ වගන්ති 76ජේ(1) මගින් ලබා දී ඇති බලපතල අනුව මහබැංකුවේ මුදල් මණ්ඩලය මගින් මෙම සංශෝධන සිදු කරන බව එහි සඳහන් වෙයි. ඒ හරහා බහුපාර්ශ්වීය මූල්‍ය සංවිධාන හරහා බැංකු පද්ධතිය වෙත ලැබෙන ආයෝජන වෙත තවදුරටත් පහසුකම් සැලසීම අරමුණ බව පැවසෙයි.

ඒ අනුව 2017 ජනවාරි 19 වැනිදා සම්මත කෙරුණු 2007 අංක 02 දරණ බැංකු පනතේ විධිවාධාන අනුව මෙම සංශෝධන විධිවිධාන නිකුත් කෙරෙන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

මෙම නව සංශෝධන අනුව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය මූල්‍ය සංවිධාන වෙත මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සතු කොටස් අතරින් 20%ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ අවස්ථාව ලැබේ. එහිදී වසර 10ක කාලයක් ඇතුළත එම කොටස් ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කිරීමේ කොන්දේසියක්ද එහි ඇතුළත් වෙයි.

එසේම මෙම අලුත් විධි විධාන යටතේ නිකුත් කර ඇති 12 (1සී) සහ 46(1) (ඩී) දරන වගන්තිය අනුව ඕනෑම කොටස් හිමියෙකුට  බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සතු කොටස් ප්‍රතිශතයෙන් උපරිමව 15෴ක් හිමි කරගැනීමේ අවස්ථාව හිමි කර දී ඇත.

මහ බැංකුව මෙලෙස  බැංකු සතු කොටස් පිළිබඳ සංශෝධන සඳහා මූලිකවම හේතු වූයේ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක වටිනාකමකට කොමර්ෂල් බැංකුවේ 15.2%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමේ අවස්ථාවත් සමගින් බව මාධ්‍ය වාර්තා පවසයි. මීට පෙර කොමර්ෂල් බැංකු තුළ කොටස් හිමිකමේ ප්‍රතිශතය 10%ක් විය.

Visits: 935