විදෙස් ආයෝජකයන් ආකර්ෂණයට නව ක්‍රමවේද හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

රට වෙත විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය නව ක්‍රමවේද හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ අදහස් පළ කර තිබේ. 2019 මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදයේදී ඔහු මේ කරුණු පළ කර ඇත. මේ විදෙස් ආයෝජන ආරක්ෂණය හරහා රටෙහි ආර්ථිකය යම් පමණකට ආරක්ෂා කරගත හැකි බව ඔහුගේ අදහස වී තිබේ.

“මේ ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් කිරීමේදී අපි බොහෝ අභියෝග රැසකටම මුහුණ දී සිටිනවා. හැබැයි ඉදිරි මාස කිහිපයක කාලයේදී ආර්ථිකය යළිත් පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමට අපට හැකි වේවි. එතැනදී විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

විශේෂයෙන්ම පසුගිය වසර පහක කාලය තුළදී පැවැති රජය මගින් සිදුකළ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටෙහි වර්තමාන ආර්ථිකය අවප්‍රමාණය වීමට හේතු වී ඇතැයිද ඔහු පාර්ලිමේන්තුව වෙත කරුණු දක්වා සිටියේය. “පසුගිය වසර පහක කාලය තුළදී අපේ ආර්ථිකය හොඳින් හසුරුවා තිබුණා නම්, අපිට මේ  COVID-19 අර්බුදයට එරෙහිව ශක්තිමත්ව සිටින්න තිබුණා.” ඔහු පවසා ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දී ඇති ආකාරයට පසුගිය වසර පහක කාලය තුළදී මෙරට පැවැති විදේශ මුදල් සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහළ බැස ඇත. එසේම රටෙහි ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් ඉක්මවා ඇතැයිද ඔහු පෙන්වා දී තිබේ.

Visits: 179