ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමට තවත් පිළිගැනීමක් හිමි වෙයි

ගුවන් තොටුපොළ ආරක්ෂක කටයුතු පිළිබඳව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හඳුන්වා දී ඇති ජාත්‍යන්තර පමිතීන් අනුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ‘ගුවන් තොටුපොළ ගුවන් ආරක්ෂක සේවා සැපයුම් බලපත්‍රය’ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රීලංකා) සමාගම වෙත ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණු බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවාවේ නියාමන ආයතනය ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය  මගින් මෙම බලපත්‍රය පිරිනමා තිබේ. ඒ අනුව එම බලපත්‍රය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා විසින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත ප්‍රදානය කර තිබේ.

ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම පිළිබඳව කලින් කලට සිදු කරන ලද පරීක්ෂණවලට සාර්ථක ලෙස  මුහුණ දෙමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම මෙම බලපත්‍රය ලැබීමට සුදුසුකම් හිමි කර ගෙන ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත  මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් සේවා ආරක්ෂක අංශයේ ගුවන් සේවා ආරක්ෂක පරීක්ෂකවරුන් විසින් මෙම පරීක්ෂණ සිදු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොල ගුවන් ආරක්ෂක සේවා සැපයුම් බලපත්‍රය ලැබීමට සුදුසු බව නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම බලපත්‍රය ප්‍රදානය කෙරී ඇත.

එහිදී 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතෙහි විධිවිධානයන්ට අනුව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතලයන්ට අනුව මෙම බලපත්‍රය  ප්‍රදානය කිරීම සිදු වුණු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම, උප සභාපති අමිත විජේසූරිය, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීවසිරි සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව තිබේ.

Visits: 32