පිරාමාල් සමූහය සිය වීදුරු නිෂ්පාදන ව්‍යාපාරය අලෙවියට ගැනුම්කරුවන් සොයයි

පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී නමින් මෙරට තුළ සිය වීදුරු නිෂ්පාදන ව්‍යාපාරය පවත්වාගෙන යන ඉන්දියාවේ පිරාමාල් සමූහය සිය වීදුරු නිෂ්පාදන ව්‍යාපාරය අලෙවි කිරීම සඳහා තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවේ සුපක්‍රට ව්‍යාපාරිකයෙකු වන අජේ පිරාමාල් වෙත මෙම සමූහය අයත් වන අතර ඔහු එහි සභාපතිවරයාද වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි සිය කර්මාන්තශාලාව, ඉන්දියාවේ පිහිටි සිය කර්මාන්තශාලා දෙකක් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි කර්මාන්තශාලාව ඇතුළු කර්මාන්තශාලා  හතර අලෙවි කිරීම සඳහා එම සමූහය පියවර ගෙන ඇත.

මෙහිදී අදාළ කර්මාන්තශාලා හතර එක්සත් ජනපද ඩොලර් මිලියන 900 සිට ඩොලර් බිලියනයක් දක්වා වන මුදලකට අලෙවි කිරීම අජේ පිරාමාල් සමූහයේ අදහස වී ඇත. මේ සඳහා වන ගනුදෙනුව සඳහා බෑන්ක් ඔෆ් ඇමෙරිකා බැංකුව දැනටමත් එම සමාගම මගින් පත් කර ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවේ පිරාමාල් කර්මාන්තශාලාවක්

මෙහිදී රටවල් රැසකම ගැනුම්කරුවන් බොහෝ පිරිසක් මෙම කර්මාන්තශාලා මිලදී ගැනීම සඳහා අවධානය යොමු කර තිබේ. ඒ අතරින් ජර්මනියේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Gerresheimer සමාගම සහ ප්‍රංශයේ තවත් වීදුරු නිෂ්පාදන සමාගම් දෙකක් වන Saverglass සහ  Verescence යන සමාගම්ද ප්‍රධාන තැනක් ගනී.

ඊට අමතරව සිංගප්පූරුවේ තමාසෙක් ආයෝජන සමාගමද පිරාමාල් වීදුරු කර්මාන්තශාලාව වෙත අවධානය යොමු කර ඇත. මෙම අලෙවි කිරීම ඉදිරියේදී නිල වශයෙන් දියත් කිරීමට පිරාමාල් සමූහය සැලසුම් කර තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කෙරුණු පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමේ 2020-2021 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා වන ප්‍රකාශනයට අනුව රුපියල්  බිලියන 1.3ක ආදායමක්  හිමි කරගැනීමට සමත්ව තිබුණි. එහෙත් එය 2019-2020 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව හා සැසඳීමේදී එය රුපියල් මිලියන 44 ක අලාභයක් පෙන්නුම් කර තිබේ. එම කාර්තුවේදී සමාගමේ ආදායම රුපියල් බිලියන 1.6 ක් විය. විශේෂයෙන්ම නව කොරෝනා වසංගතයේ බලපෑම මෙම අලාභය සඳහා හේතුව බව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී මගින් සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාව ඇතුළත

පිරාමාල් සමූහය යටතේ පිරාමාල් ග්ලාස් ව්‍යාපාරයට අමතරව පිරාමාල් එන්ටර්ප්‍රයිසස් සහ පිරාමාල් රියැලිටි ලෙස තවත් ව්‍යාපාර දෙකක් පවතී. ඒ අතරින් පිරාමාල් එන්ටර්ප්‍රයිසස් යටතේ පිරාමාල් ෆාර්මා නමින් ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරයක් මෙන්ම පිරාමාල් ෆිනෑන්ස් නමින් ආයෝජන සහ මූල්‍ය සේවා සමාගමක්ද පවත්වාගෙන යයි.

එසේම පිරාමාල් රියැලිටි යටතේ ඉඩම් සහ දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයක් සිදු කරයි. පිරාමාල් මහාලක්ෂ්මි, පිරාමාල් අරන්යා, පිරාමාල් රෙවෙන්ටා, පිරාමාල් වායිකුන්ත්, පිරාමාල් අගස්ට්‍යා ලෙස මෙම සමාගම යටතේ ක්‍රියාත්මක සැලසුම් හඳුන්වාදී තිබේ.

පිරාමාල් ග්ලාස් සමාගම පිරාමාල් ග්ලාස් (ඉන්දියා), පිරාමාල් ග්ලාස් (එක්සත් ජනපදය)  පිරාමාල් ග්ලාස් (ලංකා) ලෙස ක්‍රියාත්මක වෙයි.

Visits: 721