ස්වර්ණාභරණ මිල පාලනයට බදු කපා දමයි

• 2017 පැනවූ ආදායම් බද්ද නිසා කර්මාන්තකරුවන්ගේ සත්‍ය ආදායම හෙළි නොවුනාලු
• 2018 පැනවූ ආනයන බද්ද රත්රන් මිල ඉහළ යාමට මූලිකවම හේතුවෙලා

ඉහළ යන ස්වර්ණාභරණ මිල පාලනය සඳහා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනපතිවරයා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පවසා තිබේ.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. ඒ අනුව මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත වූ බවත් රජය පවසයි.

එසේම 2018 වසරේ දී රත්‍රන් ආනයනය සඳහා  15%ක බද්දක් පනවනු ලැබිණ. ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබේ. එම කාලසීමාවෙන් පසුව මෙරටට ආනයනය කෙරෙන රත්රන් ශුන්‍ය තත්ත්වයට පත්විය. එහෙත් මෙරට ඩොලර් සංචිත ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස පසුගිය රජය මගින් මෙලෙස රත්රන් ආනයනය සඳහා බදු පැනවීම සිදු විය.

ඒ අනුව අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබේ.

ඊයේ දිනය වනවිට මෙරට වෙළෙඳ පොළ තුළ රත්රන් අවුන්සයක මිල රුපියල් 359,735ක් විය. ඒ අනුව කැරට් එක් ග්‍රෑමයක වටිනාකම රුපියල් 12,690ක් ලෙසත් පවුමක එනම් කැරට් 24 ග්‍රෑම් 8ක් රුපියල් 101,550ක මිලක් ගෙන තිබුණි. එසේම කැරට් 22 පවුමක මිල රුපියල් 93,100 ක් විය.

අගෝස්තු මාසය ආරම්භයේදී ලෝක වෙළෙඳ පොළේ රත්රන් අවුන්සයක මිල ඩොලර් 2,000 ඉක්මවූ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ ආර්ථික තත්ත්වය මේ සඳහා හේතු විය. ඒ අනුව මෙරට වෙළෙඳපොළේ රතරන් අවුන්සයක මිලද රුපියල් 383,764ක් බවට පත් විය.

ඒ අනුව පවතින මේ තත්ත්වයත් සමගම ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්‍රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේය.

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහූ සහ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව තිබේ.

Visits: 149