විදේශිකයන්ට පෙර දේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගන්න – රාජ්‍ය අමාත්‍ය කබ්රාල් කොටස් තැරැව්කරුවන්ට පවසයි

නව රජයේ ප්‍රතිපත්ති සහ ස්ථාවරභාවය නිසා අද වනවිට මුළු ආර්ථිකය කෙරෙහි සහ කොටස් වෙළෙඳ පොළ කෙරෙහි වූ විශ්වාසය නැවත ඇතිවෙමින් පවතින බවත්, එනිසා ආර්ථික ක්‍රියාකාරකම් මෑත කාලීනව ඉහළ යනු ඇති බව සිය විශ්වාසය බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී කොටස්වල තක්සේරු කිරීම් ඉහළ යාමට විශාල ඉඩක් ඇති බව ඉතාම පැහැදිලි බවද හෙතෙම පවසයි. මේ නිසා විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරීමට පෙර, ශ්‍රී ලාංකේය ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට පෙළඹවීමට උනන්දු කරවීම, කොටස් තැරැව්කරුවන්ගේ වගකීම බව ඒ මහතා සඳහන් කරයි.

මෙරට කොටස් තරැව්කරුවන් සමග පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවකදී රාජ්‍ය අමත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේ කොටස් වෙළෙඳ පොළ කොටස් අත්පත් කරගන්නා ශ්‍රී ලාංකේය ආයෝජකයන්ට ඉතා ඉක්මණින් සැලකිය යුතු ප්‍රාග්ධන ලාභ භුක්ති විඳීමට හැකිවනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා, “2014 දෙසැම්බර් මාසය අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඇ.ඩො.බිලියන 25ක් පමණ වුණා. ඒ අතර පසුගිය වසර පහ තුළ බොහෝ සමාගම් සාධාරණ ලාභ රැස් කරගෙන තිබුණත්, ඒ වගේම ඔවුන්ගේ ශේෂ පත්‍ර වර්ධනය වී තිබුණත්, සියලු කොටස් මිල දර්ශකය වර්තමානය වනවිට ඒකක 5,300ක් දක්වා හැකිළී, වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.බිලියන 12.5ක් දක්වා අඩුවී තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

ඒ අනුව මේ තොරතුරුවලින් පැහැදිලි වන්නේ කොටස් මිල දර්ශකය අද වනවිට ඉතා ඉහළ අගයක් ගෙන තිබිය යුතු බව පෙන්වා දී ඇති රාජ්‍ය අමාත්‍යවරයා, එසේම සමස්ත වෙළෙඳ පොළ වටිනාකමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිය යුතු බව  යැයිද අවධාරණය කර තිබේ.

“ඒ වගේම රටේ මුදල් වෙළෙඳ පොළ දැන් තරමක් ද්‍රවශීලතාවට පත්ව තිබෙනවා. බැංකු හා මූල්‍ය සමාගම්වල මුළු තැන්පතු රු.බිලියන 10,000 ඉක්මවලා. එවැනි තැන්පතුවලින් අවම වශයෙන් 1%ක්වත් කොටස් වෙළෙඳ පොළට ආකර්ෂණය කරගැනීමට උත්සාහ කළ යුතුයි. එසේ වුවහොත් එම අගය රු.බිලියන 100ක් පමණ වනු ඇති බව අපේ විශ්වාසයයි. එමෙන්ම වර්තමානයේදී පොලී අනුපාත පහළ ගොස් ඇති නිසා මේ කාලය තුළ එය කළ හැකියි. ඒ සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන් ලෙස ඔබලාගේ අවධානය යොමුකළ යුතුයි.” යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

එහිදී එවැනි ආයෝජන රැල්ලක් කොටස් වෙළෙඳ පොළට විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමාන බවත්, කොටස් ආයෝජකයන්ට කොටස් වෙළෙඳ පොළේ ස්ථාවර අඩිතාලමක් ලබාගැනීමට එම ආයෝජන ඉතා හොඳ වේදිකාවක් වනු ඇති බවත් සිය විශ්වාසය බව හෙතෙම අවධාරණය කර ඇත.

එසේම සිය සුවපහසු කලාප වලින් ඉවත් වී වඩාත් ක්‍රියාශීලී වන ලෙසද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කොටස් තරැව්කරුවන්ගෙන් ඉල්ලා ඇත.

“ඔබ දැන් රට පුරා ගොස් මේ අවස්ථාව ශ්‍රී ලාංකේය ආයෝජකයන්ට පැහැදිලි කරන්න. කොටස් වෙළෙඳ පොළට පිවිසීමට ඔවුන් දිරිමත් කිරීමට කාලය පැමිණ තිබෙනවා. විදේශීය ආයෝජකයන් නැවත පැමිණෙන තෙක් උදාසීනව බලා නොසිට, දේශීය ආයෝජකයන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න. ඒ ආකාරයෙන්, විශේෂයෙන් අඩු පොලී අනුපාත සැලකිල්ලට ගනිමින්, දේශීය ආයෝජකයන්ට වර්තමානයේ පහළ ගොස් ඇති කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව පවතිනවා. කොටස් වෙළෙඳ පොළේ දැන් ආයෝජනය කරන අයට පසුව ආයෝජනය කරන අයට වඩා වාසි ලැබෙනු ඇති බව පැහැදිලියි.” යනුවෙන්ද මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Visits: 352