උදයංග වීරතුංගගෙන් කොමර්ෂල් බැංකුවට චෝදනාවක්

තම බැංකු ගිණුම් සැක සහිත බවට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය (FCID) වෙත කොමර්ෂල් බැංකුවේ නිට්ටඹුව ශාඛාවේ හිටපු කළමනාකාරිය විසින් ප්‍රෝඩාකාරී කූට පැමිණිල්ලක් සිදු කළ බව මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදංය වීරතුංග මහතා පවසයි.

2000 – 2006 වසරවලදී ශ්‍රී ලංකා ගුවන්  හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වීරතුංග මහතා වෙත මෙම චෝදනා එල්ල වී තිබේ.

2020 සැප්තැම්බර් 04 වැනිදා පැමිණිලි අංක 1080/2020 යටතේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කරමින් ඒ මහතා මේ කරුණු සඳහන් කරයි.

එහිදී අදාළ බැංකු කළමනාකාරවරිය විසින් සිදු කරන ලද පැමිණිල්ල මත තම සියලුම ගිණුම් අත්හිටුවීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හරහා පියවර ගත් බවත් ඔහු පවසයි.

“වසර 15කට වැඩි කාලයක් නිට්ටඹුව ශාඛාවේ සාර්ථක බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මොහොතක එහි හිටපු කළමනාකාරවරිය වන ශ්‍රියා කොඩිසිංහ විසින් ගිණුම් අත්හිටුවීමට පොලිසිය සමග එකතු වී පට්ටපල් බොරු නිර්මාණය කරමින් මට එරෙහිව සිදු කළ අසත්‍ය චෝදනා හුදෙක් යහපාලන දේශපාල පළිගැනීමකි.” උදයංග වීරතුංග මහතා මෙහිදී සඳහන් කරයි.

2015 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම නමට ඇති සියලුම ගිනුම් තාවකාලිකව අක්‍රිය කළ බවත්, ඒ හේතුවෙන් සිය පවුලේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් ඒ මහතා පවසා සිටියි.

උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් පිළිබඳ සන්ඩේ ටයිම්ස් ග්‍රැෆික් වාර්තාවක්

“2015 අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උදයංග වීරතුංග යන නමට ඇති සියලුම ගිණුම් තාවකාලිකව අක්‍රිය කරන ලදි. එසේ නමුත් එම කාලය තුළ මා කිසිදු අධීකරණයකින් සැකකරුවෙකු ලෙස හෝ නම්කර නොතිබුණු අතර මෙම ගිණුම් අත්හිටුවීමට කිසිදු අධිකරණ නියෝගයක් නොතිබුණි. පවුලේ එකම ආදායම්ලාභියාගේ ගිණුම අක්‍රිය කිරීමෙන් පාසලට මුදල් ගෙවීමට බැරි වීමෙන් දරු දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇති අතර, මාස්පතා සිදු කරන සියලු ගෙවීම් වසර 5කට වැඩි කාලයක් නතර කර අපගේ පවුලේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව පෙන්නුම් කරමි., ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඒ අනුව එම බැංකුව  (FCID) වෙත එදා ඔත්තු සැපයූ බැංකුවක් බව කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් දැනගත යුතුව ඇතැයිද ඔහු පවසයි. එහිදී වසර 5කට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ හා කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂකට යවන ලද ලිපි සඳහා මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවත් ඔහු මෙහිදී පවසා ඇත.

“යහපාලන රජය යටතේ ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා මහ බැංකුව එකතුව පුරා මාස 64ක් පරීක්ෂණ සිදු කර ඇති නමුත් මිග් යානා ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැර කර ඇති බවට කිසිදු සාක්ෂි නොමැතිව, සිදුකරන සියලු චෝදනා හුදෙක් දේශපාලන පළිගැනීම් බව ගරු කොමිෂන් සභාවට ගෞවරයෙන් අවධාරණය කරමි.” මෙම කරුණු දැක්වීම අවසානයේ ඔහු සටහන් කර ඇත.

උදයංග වීරතුංග මහතා කොමිෂන් සභාව වෙත දැක් වූ බව කියන සම්පූර්ණ කරුණු මෙසේය.

Visits: 101