පාකිස්තාන කොටස් වෙළෙඳ පොළ ආසියාවේ හොඳම කොටස් වෙළෙදපොළ වෙයි

ආසියාවේ හොඳම කොටස් වෙළෙද පොළ සහ ලෝකයේ සිව්වැනි හොඳම කොටස් වෙළෙද පොළ බවට පත්වීමට පාකිස්තාන කොටස් වෙළෙඳ පොළ සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව කොරෝනා වෛරසය හමුවේ ලෝකයේ අනෙකුත් කොටස් වෙළෙද පොළ ගනුදෙනු කඩා වැටී ඇති පසුබිමක පාකිස්තාන වෙළෙඳ පොළ මෙවැනි සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක් බවට පත්ව තිබේ.

එහිදී පාකිස්තාන කොටස් වෙළෙද පොළ KSE-100 මිල දර්ශකය අගෝස්තු මාසයේ ආරම්භයේ සිටම 6%ක ප්‍රතිශතයකින් ඉහළ නැගීමට සමත්ව තිබේ.

එසේම වෙළෙඳ පොළ තුළද ඉලක්කම් දෙකක ප්‍රතිලාභ හිමි කරදීමක් සිදුව තිබේ. ඒ අනුව මෙය පසුගිය මාර්තු මාසයේදී නව කොරෝනා වෛරසය ව්‍යාප්තවූ අවස්ථාවේදී සිදු වූ වෙළෙඳපොළ කඩාවැටීමේ සිට 50% ක පමණ ඉහළ යාමක් බවත්, වසරේ ආරම්භයේ සිට පැවැති තත්ත්වයට සාපේක්ෂව 41%ක වර්ධනයක් බවත් විශ්ලේෂකයන් පවසා සිටියි.

මේ තත්ත්වයත් සමගින්ම ආසියාවේ වෙනත් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු වන සාමාන්‍ය කොටස් හා සැසඳීමේදී පාකිස්තාන කොටස් ඉතා හොඳින් ගනුදෙනු සිදු කරන බව  පැවසෙයි. එහිදී වාර්ෂික පදනම මත සැලකූ විට චීන දර්ශක කිහිපයක් පාකිස්තාන KSE-100 දර්ශකයේ සාර්ථකත්වයන් අභිබවා  යෑමක් පෙන්නුම් කළද, මේ මාසයේදී එම දර්ශකද පාකිස්තාන දර්ශකයට පසුපසින් සිටින බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ONLINE PHOTO by Sabir Mazhar

මෙලෙස පාකිස්තාන කොටස් වෙළෙඳ පොළ මෙවැනි ආකාරයට ආසියාව තුළ මෙන්ම ගෝලීයවත් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට මූලිකවම හේතු වූයේ පාකිස්තාන මහ බැංකුව විසින් සිය පොළී අනුපාත කපා දැමීම බව විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගතයේ බලපෑමෙන් සිය ආර්ථිකයට සිදුවන හානිය වළක්වා ගැනීමට මහ බැංකුව මෙම පියවර ගෙන තිබුණි.

ඒ අනුව ජූනි මාසයේදී පාකිස්තාන මහ බැංකුව සිය අනුපාත 7% දක්වා පදනම් අංක 100කින් කප්පාදු කිරීමට ලක් කළ බව සඳහන් වෙයි. එහිදී මෙය වසංගතය රට තුළ ව්‍යාප්ත වූ අවස්ථාවේ සිට මහ බැංකුව සිදු කළ පස්වැනි පොළී අනුපාත කප්පාදුව ලෙසින්ද සැලකෙයි. මේ දක්වා සමස්ත පදනම් ඒකක 625කින් එම කප්පාදුව සිදු කර තිබේ.

මෙම පොළී අනුපාත යම් කාලයකට එලෙසින්ම පවත්වාගෙන යාමක් සිදු වුවහොත් එය පාකිස්තාන කොටස් වටිනාකම් ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයිද ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Visits: 400