සැප්. 17 දා CSE වෙතින් ඩිජිටල් ඇප් වැඩසටහනක් දියත් කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු වඩාත් කාර්යක්ෂමව ලබා දීමේ අරමුනින් ලබන සැප්තැම්බර් 17 වැනිදා සිදු කරන එහි ඩිජිටල්කරණය යටතේ කොටස් වෙළෙඳ පොළ වෙනුවෙන් නවතම ඩිජිටල් ඇප් වැඩසටහනක් හඳුන්වා දෙන බව එහි සභාපති දුලිත් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ඇප් වැඩසටහන හරහා ලොක්ඩවුන් සීමා පවතිද්දී වුවද ආයෝජකයන්ට කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල යෙදිය හැකි බව ඔහු සඳහන් කරයි. ඊයේ (2020 සැප්. 06) පළ කෙරුණු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපතිවරයා මේ කරුණු දක්වා තිබේ.

“මෙම ඩිජිටල්කරණය හරහා කොටස් වෙළෙඳපොළ වෙත වඩා වැඩියෙන් තනි පුද්ගල ආයෝජකයන් (රීටේල් ඉන්වෙස්ටර්ස්) ආකර්ෂණය කරගැනීමට අවස්ථාව උදා වේවි.” යනුවෙන්ද ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

එසේම ඉදිරියේදී මූල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමේ අරමුණින් බස්නාහිර පළාත තුළ සිය ශාඛා විවෘත කිරීමටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලසුම් සකස් කර ඇතැයිද ඔහු මෙහිදී සඳහන් කර ඇත. එසේම කොටස් නිකුත් කරන්නන්, ආයෝජකයන් සහ මහජනතාව අතර තවදුරටත් විශ්වාසය දියුණු කිරීම සඳහා වන කටයුතුවල යෙදෙන බවද ඔහු පවසා සිටියි.

මේ කටයුතු සියල්ලමත් සමගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමත්, කලාපය තුළ ප්‍රමුඛ පෙළේ ගනුදෙනු වෙළෙඳපොළක් බවට එය පත් කිරීමත් සඳහා පස්වැදෑරුම් ක්‍රමෝපායික වැඩපිළිවෙලක් සිදු කරන බවද සභාපති දුලිත් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කර තිබේ.

එහිදී අලුතින් පත් වූ නව රජය මගින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය වෙනුවෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කර තිබීම සියලුම ආකාරයේ ආයෝජකයන් සඳහා හොඳ වෙළෙඳපොළක් ගොඩනගා ගැනීම සඳහා ප්‍රධාන අවස්ථාවක් බවට පත්ව ඇතැයිද හෙතෙම පවසා සිටියි.

එහිදී එම නව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමගින් පසුගිය සතියේදී සිය කණ්ඩායමක් සාකච්ඡා පැවැත්වී ඇති අතර, එහිදී මෙම ප්‍රාග්ධන වෙළෙඳ පොළ ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරී ඇත.

විශේෂයෙන්ම කොළඹ කොටස් වෙළෙඳ පොළ පොත් වටිනාකම ඉන්දියාවේ 2.8%ට, වියට්නාමයේ 1.9%ට සහ පාකිස්තානයේ 1.5%ට සාපේක්ෂව 9 ගුණයක පසුබැසීමක් පෙන්නුම් කරන බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව ලංකාවේ කොටස් වෙළෙඳපොළ මෙම වර්ගීකරණයේ යටම අඩියේ පවතින බවත්, යළිත් වටයකට ආයෝජකයන් තුළ විශ්වාසනීයත්වය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී ගැටලුව වී ඇතැයිද පවසා තිබේ.

කෙසේ වෙතත් මහ බැංකුවේ තීරණය අනුව සිදු කර ඇති පොලී අනුපාත කප්පාදුව හරහා දැනට පවතින අඩු පොළී අනුපාත තවදුරටත් එලෙසින්ම පැවතිය හොත් එය වෙළෙඳ පොළ වෙත ආයෝජක ආකර්ෂණය ඉහළ යාමට හේතුවෙනු ඇතැයිද සභාපතිවරයා විශ්වාසය පළ කරයි.

එසේම ඉදිරියේදී ප්‍රවර්ධන ක්‍රමෝපායක් වෙත යොමුවෙමින් විදේශීය ආයෝජකයන් සමගින් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමේ විදෙස් අලෙවි වැඩසටහන් වෙත යොමුවීමටත් කොටස් වෙළෙඳ පොළ අවධානය යොමු කර තිබේ.

“කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගතවීමේදී පවතින බාධාවන් සම්බන්ධයෙන් අපි සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. එතැනදී අපි තාක්ෂණික අංශයේ සමාගම් මේ වෙත ආකර්ෂණය කරගැනීමට යොමු වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර මේ වසරේ අප්‍රේල් මාසය වනවිට සමස්ත ලැයිස්තුගත සමාගම් 290 හරහා පැවැති වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2,748.10ක් වූ බවත් සභාපතිවරයා මෙහිදී පවසා තිබේ. ඉන් රුපියල් බිලියන 10කට වඩා වැඩි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් සංඛ්‍යාව දැනට දශකයකට පෙර 44ක්ව පැවැති ඇති අතර දැන් එය 53ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 50කට වඩා වැඩි සමාගම් සංඛ්‍යාව මෙම කාලසීමාව තුළදී 12 සිට 11 දක්වා අඩු  වී තිබේ.

Visits: 441