අද සිට බිත්තරයක් රු. 2කින් අඩුවෙයි

අද (2020.09.07) දින සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එම සංගමය පැවැත් වූ සාකච්ඡාවකදී අගමැතිවරයා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම මිල අඩු කිරීම සිදු කරන බව එම සංගමය සඳහන් කරයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් පසුගිය සෙනසුරදා (2020.09.05) තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වී තිබේ..

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික ජනතාවට සහන සැළසීම වෙනුවෙන් බිත්තර මිල පහල දමන්නැයි කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළැඹුණු බව පවසයි.

ඒ අනුව අද සිට සුදු බිත්තරයක් රු.18.00 කට හා රතු බිත්තරයක් රු.18.50 ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.

මෙතෙක් කලක් එම මිල සුදු බිත්තරයක් සඳහා රුපියල් 20ක්ද රතු බිත්තරයක් සඳහා 20.50ක් ද විය. ඒ අනුව වෙළෙඳ පොළේදී සුදු බිත්තරයක් රුපියල් 22ත් 23ත් අතර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 23ත් 23.50ත් අතර මිලකට අලෙවි විය. ඇතැම් වෙළෙඳ සැල්වලදී සුදු බිත්තර රුපියල් 24ද  ඉක්මවීය.

බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවකුගේ මිල රු. 350.00ක තරම් ඉහළ මිලක් පවතින නිසා බවත්, එම මිල රු.175.00ක් දක්වා අඩු කර දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස ඒ මොහොතේම මෙම විෂයභාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා සම්බන්ධකරගත් අග්‍රාමාත්‍යතුමා, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ මෙම ඉල්ලීම පිළිබඳව වහා අවධානය යොමුකර ඊට අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව නිෂ්පාදන වියදම අධික වුවද  බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවැසීය.

රටේ සමස්ථ බිත්තර නිෂ්පාදනයෙන් සියයට 70ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හරහා බෙදා හැරෙන අතර, අඩුකළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සුදානම් බව අගමැතිවරයාට මෙම හමුවේදී දැනුම් දී තිබේ.

මෙම අවස්ථාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය, බිත්තර නිෂ්පාදනයේ නිරත ගොවි මහතුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව තිබේ.

Visits: 28